සුප්‍රසිද්ධ ‘සුදර්ශිය’ හෙවත් සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශය වෙත පවරාගැනීමට වන සූදානමට විරෝධය පලකරමින් කලාකරුවන් රැසක් පෙත්සමකට අත්සන් තබා තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ වත්මන් රජය බලයට පත්කිරීමට දේශපාලන වේදිකාවට පවා ගොඩවූ ඇතැම් කලාකරුවන්ද අදාල පෙත්සමට අත්සන් කර තිබීමයි.
ඒ අතර නොයෙකුත් උසුළු විසුළු කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලන වේදිකාවේ කතා පැවැත්වූ බන්දු සමරසිංහ මහතාද සිටීමද විශේෂත්වයක්.
මීට අමතරව වර්තමාන ආණ්ඩුව මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්කර යැවූ රෝහණ බැද්දගේ මහතාගේ පුත් තාරක බැද්දගේ මහතාද අදාල පෙත්සමට අත්සන් තබා තිබෙනවා.
වසර 62 ක ඉතිහාසයකට උරුමකම් කියන සුදර්ශිය මීට පෙර අවස්ථා දෙකකදී එනම් 2009 වසරේ සහ 2016 යන වසරවලද ජපානයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන ‘සසකාවා’ සංවිධානයට විකිණීමට උත්සහ දැරීමට එරෙහිවද කලාකරුවන් දැඩිලෙස විරෝධය පලකළා.
කොළඹ බෞද්ධාලෝක මාවතේ අංක 375 දරණ ස්ථානයේ පර්චස් 189 ක වටිනා භූමියක පිහිටි මෙම ආයතනය නිරන්තරයෙන් විකිණීමට උත්සහ කිරීමට ලක්වන තවත් ස්ථානයක් බවට මේ වන විට පත්වී අවසන්.



