ගාළුමුවදොර පිටියේදී ඊයේ (09) පැවති සාමකාමී මහජන විරෝධතාවය විසුරුවා හැරීම සදහා පොලිසිය මැදිහත් වූ ආකාරය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා දැඩිව විවේචනය කර තිබෙනවා.
මෙතරම් බරපතල ආකාරයකට මානව හිමිකම් උල්ලංගනයවීම් සිදු වනවානම් මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබදව ලෝකයා ප්‍රශ්න කිරීම පුදුමයක් නොවන බව ඔහු සදහන් කරනවා.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සාලිය පීරිස් මහතා පෙන්වා දෙන්නේ නීතිවිරෝධී නියෝගමත ක්‍රියාකරන පොලිස් නිළධාරීන්ට නිසැක වශයෙන්ම යම් දිනෙක ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් වන්දි ගෙවිමට සිදුවනු ඇති බවයි.
තමන්ගේ ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සදහා නීති විරෝධී අණ පිළිපදින පොලිස් නිළධාරීන්ට ඔවුන්ගේ වැරදි ක්‍රියා සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදු වූ අවස්ථා ඕනෑ තරම් තමන් දැක ඇති බව පවසන නීතීඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් ඊට වන්දි ගෙවන අවස්ථාවලදී ඔවුන්ට එම අනීතික උපදෙස් ලබා දුන් කිසිවෙකු ඔවුන් ළග නොසිටින බවද පෙන්වා දෙනවා.
ඉහළ නිළධාරීන්ගේ අනීතික අණ පිලිපදින ඇතැම් නිළධාරීන්ට ඔවුන්ගේ උසස් වීම අහිමි වන බවත් ඇතැම් අය අපරාධ නඩුවලට වරදකරුවන් වී සිරගත වන බවත් සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පවසනවා.