කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙසේ ඡන්දය පැවැත්වීමේ කටයුතු තහනම් කර ඇත්තේ කොළඹ නගර සභාව, හාරිස්පත්තුව, පන්විල, පාතදුම්බර, උඩපළාත, කුලියාපිටිය යන ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයකයි.
ඒ නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ඉදිරිපත් කළ රීට් පෙත්සම් විභාගයට අවසර ලබා දෙමින්.
අදාළ පෙත්සම් ගොනු කර තිබුණේ දේශපාලන කණ්ඩායම් කිහිපයක් සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයක් විසින්.
මෙම තීන්දුවට එරෙහිව වගඋත්තරකරුවන්ට විරෝධතා ඇතිනම් මැයි 05 දිනට පෙර ඒවා ඉදිරිපත් කරන ලෙසත් මැයි 07 දිනට පෙර පෙත්සම්කරුවන්ට ඊට ප්‍රතිවිරෝධතා ඇත්නම් ගොනු කරන ලෙසත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල තීන්දු කළා.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය මැයි මස 16 වැනිදා පැවැත්වීමටද දින නියම කෙරුණා.
එදින තෙක් අදාළ අතුරු නියෝගය බල පැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වනවා.
නියමිත කාල සමාව තුළ අදාළ නාමයෝජනා භාර නොදුන් බවට චෝදනා කරමින් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට තේරීම් භාර නිලධාරීන් ගත් තීරණය නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.