වේයන්ගොඩ – වඳුරඹ ප්‍රදේශයේ කැණීමට අදාළව පොලිස් විශේෂ කාර්‍යය බලකාය දුන් වාර්තාව අනුව පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහමය ද්‍රව්‍ය ගැන විමර්ශනයක් කිරීමට පමණක් නියෝගයක් දුන් බවත් නිධන් හෑරීමට කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බවත් අත්තනගල්ල අධිකරණය පවසනවා.
එම තීන්දුව දුන් මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න මහතා අද (26) ඒ බව විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
මෙම ප්‍රදේශය හරහා ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය ආසන්නයේ නිධානයක් ඇතැයි පැතිරෙන කටකතා හමුවේ පසුගිය සමයේ විවිධ පුද්ගලයින් නීතිවිරෝධීව මෙහි කැණීම් කටයුතු සිදුකර තිබුණා.
කෙසේවෙතත් නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු 23 වැනිදා පස්වරු 4ට අවසන් කර තිබුණු අතර කිසිදු නිධානයක් හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත කිසිවක් මෙම කැණීම්වලින් හමුවී නැහැ.
අවස්ථා රැසකදී පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණත් නැවත නැවතත් එම ස්ථානයේ නිධානය සොයා හෑරීම් සිදුවීම හේතුවෙන් ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ පාදම කොටසට අවදානම් තත්ත්වයක් මතුවී ඇති බව බලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වුණා.
ඒ බව වේයන්ගොඩ පොලීසිය, අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු එම ස්ථානයේ නිධානයක් තිබේදැයි පොලිස් විශේෂ කාර්ය බළකායට සොයාබලන ලෙසට අත්තනගල්ල මහෙස්ත්‍රාත්වරයා නියෝග කළ බවටයි පුවත් පළ වුණේ.
ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ පසුගියදා (21) නිධානය සොයා කැණීම් කටයුතු ආරම්භ කළා.
පළමු දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා කැණීම්වලින් කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර දෙවන දිනයේ කැණීම්වලදී විශාල ප්‍රමාණයේ ගලක් සොයා ගැනුණා.
එම ගල ඉවත් කිරීම සඳහා (22) වැනිදා දහවල් දොඹකරයක් ද රැගෙන ආනමුත් එම කටයුතු අවසන් කිරීමට නොහැකි වී තිබෙනවා.
කැණීම් කටයුතු සඳහා අත්නගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් අවසර දී තිබුණේ දින දෙකක් පමණක් බැවින් එම කාලය 23 වැනිදා පස්වරුවේ අවසන් වුණා.
වේයන්ගොඩ පොලීසිය පැවසුවේ, පසුව යළි අධිකරණයට කරුණු දක්වා කැණීම් සඳහා තවත් දිනයක් ලෙස එදිනත් ලබා ගත් බවයි.
ඒ අනුව තුන්වන දිනටත් නිධානය සොයා කැණීම් කටයුතු 23 වැනිදා පෙරවරු 9ට ආරම්භ කෙරුණා.
විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
අනතුරුව ගල් කැබලි මහජනතාව ඉදිරියේ කුඩු කරනු ලැබු අතර නිධානයක් හෝ පුරාවිද්‍යා වටිනාකමක් සහිත දෙයක් ඉන් සොයා ගැනීමට නොහැකි වීම නිසා එහි රැස්ව සිටි සියලු රාජ්‍ය නිලධාරීන්ගේ එකඟත්වය අනුව 23 වැනිදා පස්වරු 4ට කැණීම් කටයුතු අවසන් කෙරුණා.