‘සිය දිවි තොර කර ගැනීම’ වටහා ගන්නේ කෙසේද?
“මට හැම වෙලේම හිතුණේ මගේ ප්‍රශ්නයට ඇහුම් කන් දෙන්න කෙනෙක් නැහැ කියන එක වගේම මගේ දුක් ගැනවිලි අහන් ඉන්න එක අනිත් අයට කරදරයක් කියන එක, අතීතයේ වුණ සිදුවීමක් ගැන පසුතැවීමක් මට තිබුණා, නමුත් ඒ සිතුවිලි හිතට එන එක නවත්තන්න ක්‍රමයක් මම දැනගෙන හිටියේ නැහැ, මුලින්ම ඒක පටන් ගත්තේ හේතුවක් නැතුව අඬන එකෙන්, ඒ හැසිරීම එන්න එන්න වැඩිවුණා සහ මගේ පාලනයෙන් තොර වුණා, ජීවිතේ නැති වුණානම් මේ දුක ඉවරයි කියලා මට හිතෙන අවස්ථා තිබුණා, දැන් ඒ කාලෙ පහුවෙලා හුඟක් කල්, නමුත් උදව් ගත්තා නම් සහ උදව් ඉල්ලන්න උත්සාහ කළා නම් ඒ වගේ විඳවන්නේ නැතුව ජීවත් වෙන්න තිබුණා කියලා හිතෙනවා”
මේ ජීවිතයේ එක් පරිච්ඡේදයක් තුළ තමාට ඇති වූ සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් සිතුවිලි පිළිබඳව පුද්ගලයෙක් අප සමඟ හුවමාරු කරගත් අදහස් කිහිපයක්.
තමා විසින් තමාගේ ජීවිතය නැති කර ගැනීම නැතිනම් ආත්ම ඝාතනය ලෙස සියදිවි නසා ගැනීම හඳුන්වන්න පුළුවන්. යම් කිසි පුද්ගලයෙක් මරණයට පත්වීමේ අරමුණෙන් ජීවිතයට හානි කරගැනීමට පෙළඹීම සඳහා විවිධ වූ මානසික, ජෛවීය මෙන්ම පාරිසරික සාධක හේතු විය හැකියි.
ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් අතරින් එකක්
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශිත දත්තවලට අනුව සෑම වසරකම ලෝකයේ 726,000 ක් සියදිවි තොර කර ගැනීමෙන් මරණයට පත් වෙන අතර තවත් බොහෝ දෙනා සියදිවි හානි කරගැනීමට උත්සාහ කරන බව පෙනී යනවා,
2021 වසරේදී ගෝලීය වශයෙන් අවූරුදු 15- 29 අතර පුද්ගලයින් මරණයට පත්වීමට බලපාන ප්‍රධාන හේතු අතර තුන්වන ස්ථානයට පැමිණ ඇත්තේද සිය දිවි හානි කරගැනීමයි.
සිය දිවි තොර කරගැනීම කෙරෙහි ශ්‍රී ලංකාව තුළද මහජනයාට බලපාන සැලකිය යුතු ගැටලුවක් ලෙස අවධානය යොමුව ඇති අතරම ජනගහනයට ප්‍රතිශතයක් ලෙස ගත් විට ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම සිය දිවි නසා ගැනීම් වාර්තාවන රටවල් අතරින් එකකි.
1995 වන විට ශ්‍රී ලංකාවේ සියදිවි නසා ගැනීමේ අනුපාතය පුද්ගලයින් 100,000 කට 47 ක් ලෙස සටහන් වූ අතර එම කාලවකවානුව තුළ ශ්‍රීලංකාව ඉහළම සියදිවි නසා ගැනීමේ අනුපාතයක් ඇති රටවල් අතර දෙවන ස්ථානයේ පසුවුණා.
2012 වසර වන විට ශ්‍රී ලංකාවේ වසරකට සිය දිවි තොර කර ගැනීම් 4000ක් පමණ වාර්තා වුණා.
ශ්‍රී ලංකා පොලීසියේ දත්තවලට අනුව 2022 වසරේදී ලංකාවේ සියදිවි නසාගැනීමේ අනුපාතය පිරිමි පුද්ගලයින් සඳහා 100,000 කට 27 ක් ලෙස පැවති අතර එය කාන්තාවන් සඳහා පැවතියේ 100,000 කට 5ක් ලෙසයි.
ඒ අනුව, 2022 වසරේ රටේ සමස්ත සියදිවි නසාගැනීමේ අනුපාතය 100,000 කට 15 ක් ලෙස පැවතුණා.
එමෙන්ම, පිරිමි පුද්ගලයන් අතර සියදිවි තොර කරගැනීමේ අනුපාතය වයස වැඩිවීම අනුව ඉහළ යෑමක් දක්නට ලැබුණු අතර වයස අවුරුදු 55ට වැඩි පිරිමි පුද්ගලයින් අතර එම ප්‍රතිශතය සටහන්ව ඇත්තේ 100,000කට 65ක් ලෙසයි.
නමුත් කාන්තාවන් අතර සියදිවි තොර කරගැනීමේ ඉහළ අනුපාතයක් නිරීක්ෂණය වී ඇත්තේ, අවුරුදු 17-25ත් අතර පසුවන තරුණියන් සම්බන්ධයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 100,000 කට 10ක අගයක් ගෙන තිබෙනවා.
1997 වසරේ සිට 2022 වසර දක්වා සියදිවි තොර කරගැනීමට යොදාගෙන ඇති ක්‍රමවේදය සහ වයස් පරතරය අනුව ශ්‍රී ලංකාවේ පුරුෂයින්ගේ සහ කාන්තාවන්ගේ සියදිවි නසාගැනීමේ අනුපාතය දැක්වෙන රූප සටහනක් පහතින්.
සිය දිවි නසා ගැනීම් වළක්වා ගැනීම
සියදිවි තොර කරගැනීමේ හුදෙකලා සිද්ධීන් හෝ ඒ සම්බන්ධ පුවත්වලට ඇතැම්විට මාධ්‍ය තුළින් මෙන්ම සමාජයේද වැඩි අවධානයක් හිමි වුණත් සියදිවි නසා ගැනීම් වළක්වාගැනීමේ පියවර සම්බන්ධයෙන් ඇත්තේ අඩු කතාබහක්.
සියදිවි නසා ගැනීම අවම කිරීමේ පරමාර්ථයෙන් මෙන්ම යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් යුතු සමාජයක් වෙනුවෙන් කටයුතු කරන රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන ආයතන රැසක් මෙරට තුළ ක්‍රියාත්මකයි.
ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සහ දිරිය හා දයාවේ පදනමේ (CCC) එවැනි ආයතන කිහිපයක්.
මෙම ආයතන මඟින් සිය දිවි නසාගැනීම වළක්වා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන එක් ක්‍රමවේදයක් ලෙස ඒවා මඟින් පවත්වාගෙන යන උපකාරක ඇමතුම් සේවාව හඳුනාගත හැකියි.
මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ තොරතුරු, මනෝ වෛද්‍ය උපදෙස් , උපදේශන සේවා සහ මානසික සෞඛ්‍යමය හදිසි අවස්ථා සම්බන්ධයෙන් ඇමතීමට මෙම සේවාවෙන් අවස්ථාව සලසා දී තිබෙනවා.
ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව
1926 යන හදිසි ඇමතුම් අංකය මඟින් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය හසුරුවන උපකාරක සේවාව සම්බන්ධයෙන් එම ආයතනය පවසන්නේ එය පැය 24 පුරාවට ම නොමිලේ ක්‍රියාත්මක සේවාවක බවයි.
මෙම හදිසි ඇමතුම් සේවාව එලෙසින්ම ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා අප විසින් කටයුතු කළා.
එහිදී අනාවරණය වුණේ දිනයේ විවිධ වේලාවන් අතර සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් එම සේවය අමතන පුද්ගලයින් හට පිළියම් සලසා දීමටත් ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධ ගැටලු අසා සිටිමින්, ඉදිරි පියවර සඳහා යොමු වීමට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දීමටත් එම ඇමතුම් හසුරුවන නිලධාරිනියන් කටයුතු කරන බවයි.
කෙසේවෙතත් දමිළ භාෂාවෙන් සේවාවන් ලබා ගැනීමත් උත්සාහ කළ අවස්ථාවකදී ප්‍රදේශය තෝරාගැනීමෙන් පසුව දුරකථන ඇමතුම විසන්ධි වුණු ආකාරයද නිරීක්ෂණය වුණා.
එමෙන්ම, දුරකථන ඇමතුමක් ඔස්සේ කතාකිරීමට අපහසු හෝ අකමැත්තක් දක්වන පුද්ගලයින් සඳහා සලසා දී ඇති මාර්ගගත ක්‍රමය වන වට්ස් ඇප් ඔස්සේ මෙම උපකාරක සේවාව හා සම්බන්ධ වීමට ඇති හැකියාව පිළිබඳවද අප විමසීමක් කළා.
එහිදී නිරීක්ෂණය වූයේ, විනාඩි 25ක පමණ කාලයකින් අනතුරුව වට්ස් ඇප් ඔස්සේ අප තෝරාගත් භාෂාවක් ඔස්සේ පවතින ගැටලුව සන්නිවේදනය කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි.
පීඩාවෙන් සිටින 144, 000කට පමණ විසඳුම් දීලා තියෙනවා
“මේ ඇමතුම් එන්න සියදිවි හානි කරගැනීම සම්බන්ධයෙන් විතරක්ම නෙමෙයි. මානසික සෞඛ්‍ය ගැටලු ගැන කතා කරන්න, සේවාවන් ගන්න තැන් පිළිබඳව අහන්න වගේම තමන්ට මානසික රෝගී තත්වයක් තියෙනවද කියල දැනගන්න, ඒ රෝග සම්බන්ධයෙන් නිර්දේශ කරන බෙහෙත් සම්බන්ධයෙන් විමසන්න ඇමතුම් බොහෝ ප්‍රමාණයක් එනවා. අවුරුදු 20 – 25 වගේ වයස් සීමාවල පසුවුණු අය ඇමතුම් දුන්නත් නව යොවුන් වියේ පසුවෙන බොහෝ අය කැමැත්තක් දක්වන්නේ “චැට්” කිරීම මඟින් ඔවුන්ගේ ගැටලු පිළිබඳව කියන්න”
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් ක්‍රියාත්මක කරන උපකාරක සේවාව පිළිබඳව අප ජ්‍යෙෂ්ඨ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මියගෙන් විමසීමක් සිදු කළා.
ඇය සඳහන් කළේ 2018 ඔක්තොම්බර් 15 වෙනි දින ආරම්භ කළ 1926 යන හදිසි ඇමතුම් අංකය ඇමතු පුද්ගලයින් 144,000 කට පමණ මේ දක්වා විසඳුම් ලබා දී ඇති බවයි.
මෙම උපකාරක සේවාව වගවීමකින් යුතුව ක්‍රියාත්මක වන අතර එම අංකයට ලැබෙන සෑම ඇමතුමක්ම අධීක්ෂණයට ලක්වෙන බවත් ඒවා පසු විපරමට ලක්වන බවත් වෛද්‍යවරිය තවදුරටත් අවධාරණය කළා.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් පවත්වාගෙන යන සංඛ්‍යා දත්තවලට අනුව 2018 වසරේදී 1926 හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක කළ දිනයේ පටන් මේ දක්වා ඒ සඳහා දුරකථන ඇමතුම් 144, 534ක් ලැබී තිබෙනවා.
වාර්ෂිකව එම අංකයට ලැබුණු ඇමතුම් ප්‍රමාණය සටහන් වෙන්නේ පහත ආකාරයෙන්,
වර්ෂය | ඇමතුම් ප්‍රමාණය |
2018 | 422 |
2019 | 14, 570 |
2020 | 26,819 |
2021 | 20,016 |
2022 | 20,166 |
2023 | 26,050 |
2024 | 26, 540 |
2018 වසරේ මෙම ඇමතුම් සේවය ක්‍රියාත්මක කිරීමේදී ඇමතුම් ලැබී ඇත්තේ 422ක් පමණක් වුවද 2019 වසර වන විට එය සැලකිය යුතු ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙනවා.
වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළේ, 2019 වසරේ පාස්කු බෝම්බ ප්‍රහාරය මෙන්ම මෙම උපකාරක සේවා පිළිබඳව දැනුවත් කිරීම් වැඩි කිරීම මෙම ඇමතුම් ප්‍රමාණය ඉහළ යෑමට හේතු වී ඇති බවයි.
නව යොවුන් වියේ පසුවන අයට “චැට්” කිරීමෙන් ගැටලු කියන්න අවස්ථාවක්
හදිසි ඇමතුම් අංකය ඔස්සේ ඇමතුම් ලබා දීම වෙනුවට වයස අවුරුදු 14 සිට 20 දක්වා වයස් සීමාවල පසුවන බොහෝ දෙනෙක් වට්ස් ඇප් අංකය ඔස්සේ සලසා දී ඇති පැය 24 පුරාවට ක්‍රියාත්මක මාර්ගගත සේවය සමඟ සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන බව වෛද්‍යතුමිය තවදුරටත් සඳහන් කළා.
ඇය පැවසුවේ, මේ වන විට නව යොවුන් වියේ පසුවන 5000කට වැඩි පිරිසක් මෙම සේවාව ලබාගන්නන් ලෙස ලියාපදිංචි වී ඇති බවයි.
වට්ස් ඇප් හරහා මෙම සේවාව ලබා දීම ආරම්භ කර තිබුණේ 2019 වසරෙන් පසුව වන අතර කොවිඩ් වසංගත තත්වය සමඟ මානසික සෞඛ්‍ය සායන වෙත සහභාගී වීමට නොහැකි රෝගීන් වෛද්‍යවරුන් වෙත සම්බන්ධ කිරීම, ඖෂධ නිර්දේශ කිරීම ආදිය එම කාලවකවානුව තුල සිදු කර තිබුණා.
මේ වන විට සිය පවුලේ අය හෝ සමීපතමයින් සමඟ හුවමාරු කරගැනීමට නොහැකි ආකාරයේ දැවෙන ගැටලු හේතුවෙන් මානසික පීඩාවකින් සිටින ඕනෑම අයෙකුට පෞද්ගලිකත්වය හා රහස්‍යභාවය ආරක්ෂා කරගනිමින් විසඳුම් ලබා ගැනීමේ හැකියාව මෙහිදී සලසා දී තිබෙනවා.
මැදිහත් වීමෙන් ජීවිත බේරගන්න පුළුවන්
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් සලසා දී ඇති තවත් පහසුකමක් වන්නේ, හදිසි ගිලන් රථ සේවයයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුෂ්පා රණසිංහ වෛද්‍යතුමිය සඳහන් කළේ 50km ක වපසරිය තුළ මෙම ගිලන් රථ සේවය ක්‍රියාත්මක අතර හදිසි අවස්ථාවකදී සිදු කරන දැනුම් දීමකදී එම ආයතනය මඟින් පුහුණු කළ කණ්ඩායමක් සමඟ එම සේවාව ලබා දීමට හැකියාව පවතින බවයි.
“පොලීසියෙන් ඇමතුමක් ආවා, තමන්ගේ මානසික රෝගී ස්වාමි පුරුෂයා සම්බන්ධයෙන් පැමිණිලි කරපු කාන්තාවක් ගැන, ඒ ස්වාමි පුරුෂයා බෙහෙත් ලබා නොගෙන සිටීමෙන් මානසික රෝගී තත්වය වර්ධනය වීම නිසා දරුණු තත්වයකට පත් වෙලා. ඒ අවස්ථාවේදී ඔහු බිරිඳට ප්‍රචණ්ඩ ආකාරයෙන් සැලකීම ගැන තමයි පොලීසියට පැමිණිල්ල ඇවිත් තිබුණේ නමුත් පොලීසිය අදාළ නිවසට ගියාම ඔහුගේ තත්වය සමඟ ගනුදෙනු කරන්න නොහැකි වෙලා තිබුණා. ඒ වෙලාවේ පොලීසිය අපේ සහය ඉල්ලුවා, ඒ අනුව අපේ කණ්ඩායමක් සහ පොලීසියේ කණ්ඩායමක් ගිහින් රෝගියාව රෝහලට රැගෙන එන්න හැකි වුණා.”
“තවත් අවස්ථාවක කාන්තාවකගෙන් ඇමතුමක් ආවා. දවස් හතළිහක සහ අවුරුදු දෙකක දරුවන් දෙදෙනෙකුගේ මවක්, ඇය ජිවීතය එපා වෙලා කළකිරීම් සහගත තත්වයක හිටියේ, ඇය තනිව සිටින බවත් දරුවාත් සමඟ ජීවිතයෙන් සමු ගන්නට සිතන බවත් කියමින් අපට කතා කළා, ඒ අවස්ථාවේදි අපිට හැකි වුණා ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සහ ඇයගේ සැමියා සම්බන්ධ කරගෙන ගිලන් රථයක් මඟින් ඇයව රෝහලට රැගෙන එන්න, ජීවිත දෙකක් බේරගන්න අපිට පුළුවන් වුණා”
විනිශ්චයකින් තොරව සවන් දෙන්න සූදානම්
1926 උපකාර සේවාව වෙත ලැබෙන ඇමතුම් සමස්තයක් ලෙස සැලකූ විට ඉන් බොහෝමයක් මේ වන විට ලැබී ඇත්තේ සම්බන්ධතා බිඳ වැටීම, ගෘහස්ථ හිංසනය, ලිංගික අපයෝජන, විවාහයෙන් පිට සබඳතා, දරුවන්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් බව වෛද්‍යතුමිය තවදුරටත් සඳහන් කළා.
මෙම ගැටලුවටල විනිශ්චයකින් තොරව සවන්දීමට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් මනා පුහුණුවකින් යුතු හෙදියන්ගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් සිටින බවත් අවශ්‍ය අවස්ථාවලදී එම ඇමතුම් වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු වෙත යොමු කිරීමට කටයුතු කරන බවත් වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළා.
ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය මඟින් සිදු කරන මානසික සෞඛ්‍ය උපකාරක සේවය මේ වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක කිහිපයකට විමධ්‍යගත කර ඇති අතර දිස්ත්‍රික්කය අනුව ප්‍රාදේශික ශාඛා සමඟ සම්බන්ධවීමටද අමතන්නන් හට ඉඩ සලසා තිබෙනවා.
ගැටලුවට සරිලන ආයතනය සම්බන්ධ කර දීමත් එක් සේවාවක්
මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ උපකාර පතමින් ඇමතුම් ලබා ගන්නා පුද්ගලයින්ගේ ගැටළුවේ ස්වභාවය අනුව ඔවුන්ව ඊට අදාළ ආයතන වෙත සම්බන්ධ කර දීමද මේ හරහා සිදු කරන බව මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය පවසා සිටියා.
ඒ අනුව, ගෘහස්ථ හිංසනය සම්බන්ධ ගැටලුවක් නම් ‘කාන්තා පිහිට’ ආයතනයත්, සයිබර් ප්‍රචණ්ඩත්වය සම්බන්ධ ගැටලුවක් නම් ‘හිතවතී’ උපකාරක මධ්‍යස්ථානයද, නීති ආධාර අවශ්‍ය නම් නීති ආධාර කොමිසම මෙන්ම මානව හිමිකම් පිළිබඳව ගැටලුවක් ඇත්නම් ඒ
සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව දැනුවත් කිරීම වැනි සේවාවක්ද මෙහිදී සිදු කෙරෙන බවද ඇය සඳහන් කළා.
මූලික පරමාර්ථය තමයි සිය දිවි නසා ගැනීම අවම කිරීම
සිය දිවි හානි කරගැනීමේ සිතුවිලි පහළ වූවන්ට සහන සැලසීම, ප්‍රියයන්ගෙන් වෙන් වීම, රැකියා ආයතන වල ගැටළු, සමීපතමයන් සම්බන්ධ ගැටළු යනාදී නොයෙකුත් ආකාරයේ ගැටලු සම්බන්ධයෙන් ඇහුම්කන් දී එවැනි පුද්ගලයන්ට මානසික සහයෝගය ලබා දීමට තවත් ආයතනයක් ලෙස ‘සුමිත්‍රයෝ’ සංවිධානය කටයුතු කරනවා.
එම සංවිධානයේ ව්‍යාප්ත ශාඛා අධ්‍යක්ෂිකා ඩිල් පියරත්න මහත්මිය සඳහන් කළේ, මසකට එවැනි ඇමතුම් 1000- 1200 ත් අතර ප්‍රමාණයක් සුමිත්‍රයෝ සංවිධානයට පැමිණෙන බවයි.
“අපේ මූලික පරමාර්ථය තමයි සියදිවි හානි කර ගැනීම අවම කිරීම. කෙනෙක් ඇමතුමක් දුන්නාම එකවරම නෙමෙයි, ඒ කතාබහේ කොතනකදී හෝ අපි අහනවා. “ඔයාට ජීවිතය එපා වෙලාද තියෙන්නේ” කියන ප්‍රශ්නය, ඒ පුද්ගලයාගේ පිළිතුර අනුව අපි තීරණය කරනවා , සියදිවි නසා ගැනීමට උත්සාහ කරන අයෙක් වෙනුවෙන් අපි අනුගමනය කරන පියවර (Suicide Protocol) ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.”
“අපි උපදෙස් ලබල දෙනවා, සිය දිවි නසාගැනීමේ සිතුවිල්ලක් ආපු පුද්ගලයෙක්ව පැය 24 – 48ක් වගේ කාලයක් ඇතුළත තනිවම නොතබන්න, ධෛර්‍යමත් කළොත් ඒ සිතුවිල්ල අමතක වෙන්න පුළුවන් සහ මඟහැරෙන්න පුළුවන්. ඒ වගේ සිතුවිල්ලක් ආපු කෙනෙක්ගේ නම සහ අංකය විතරක් අපි සටහන් කරගෙන, ඔවුන් ගැන පසු විපරමින් ඉන්නවා.”
“අපේ උපකාරක ඇමතුම් සේවය පැය 24 පුරාම ක්‍රියාත්මක නැහැ, නමුත් සේවා පැයවලට අමතර කාලයකදී කෙනෙකුට ඇමතුම් ගන්න අවශ්‍ය වෙනවා නම් අපි 0767520620 යන දුරකථන අංකය අපි ලබා දෙනවා. සිංහල හා භාෂා දෙකෙන්ම අපේ හදිසි උපකාරක අංකයට කතා කරන්න පුළුවන්, දමිළ භාෂාවෙන් කතා කරන්න කෙනෙකුට අවශ්‍ය නම් අපි ඒ අවස්ථාවත් ලබලා දෙනවා, ඒ ඇමතුම් අපි සෘජුවම සුමිත්‍රයෝ යාපනය මධ්‍යස්ථානයට යොමු කරනවා”
ඩිල් පියරත්න මහත්මිය අප සමඟ සඳහන් කළේ සුමිත්‍රයෝ සංවිධානය වෙත ලැබෙන ඇමතුම් බොහෝමයක්, අවුරුදු 20 – 50ත් අතර අයෙගෙන් ලැබෙන බවයි. “ සියදිවි නසා ගැනීමම නෙමේ විභාග ආතතිය, පවුල් ජීවිතය පිළිබඳ ප්‍රශ්න, හිරිහැරවලට ලක්වීම, පෞද්ගලික ඡායාරූප අනවසරයෙන් හුවමාරු කිරීම වැනි ගැටලුවලට මුහුණ පාන බොහෝ දෙනා අපිට ඇමතුම් ගන්නවා”
වගකීම් සහගත වාර්තාකරණයත් වැදගත්
දිවි අහිමි කරගැනීම් පිළිබඳ පුවත් වාර්තාකරණයේදී සැලකිලිමත් විය යුත්තේ එම පුවත් වාර්තාවන් ඔස්සේ පවා, දිවි අහිමි කරගැනීම් සඳහා වක්‍රාකාරයෙන් අනුබල ලැබීමක් සිදුවීමට හැකියාවක් පවතින බැවිනි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පා රණසිංහ මහත්මිය සඳහන් කළේ දිවි අහිමි කරගැනීම් පිළිබඳ පුවත් වාර්තා කිරීමේදී, සිද්ධිය පමණක් වාර්තා කිරීමට වග බලා ගැනීම වැදගත් බවයි.
එහිදී, සියදිවි හානි කරගත් ආකාරය දැක්වීම, පෞද්ගලික විනිශ්චයක් ඇතුළත් කිරීම, අනන්‍යතාවය හෙළිවන ආකාරයට පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම, සිය දිවි නසා ගැනීමට හේතු අනුමාන කර දැක්වීම මෙන්ම එවැනි සිදුවීමක් සඳහා අනවශ්‍ය වීරත්වයක් ආරෝපණය කිරීම හෝ චිත්තවේග කම්පා කරවන ආකරයකින් වාර්තා කිරීම නොකළ යුතු බව ඇය තවදුරටත් අවධාරණය කළා.
එමෙන්ම, දිවි තොර කරගැනීම් සම්බන්ධයෙන් වන පුවත් වාර්තාවන් සමඟ උපකාරක අංක සඳහන් කිරීම යෝග්‍ය භාවිතාවක් වන අතර දිවි අහිමි කරගැනීමට නැඹුරුවක් ඇති අයෙකුගේ ජීවිතයක් බේරාගැනීමටද එය ඉවහල් විය හැකියි.