චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංෆූ (Li Shangfu) සති දෙකක කාලයක සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුවෙන් ගෙවුණු සති දෙකක කාලය ඇතුළත නිල රැස්වීම් කිහිපයක්ද ඔහුට මඟ හැරී ඇති බව පැවසෙනවා.
ඔහු අවසන් වරට ප්‍රසිද්ධියේ පෙනී සිට ඇත්තේ අගෝස්තු 29 වනදා අප්‍රිකානු රාජ්‍යයන් සමඟ පැවති ආරක්ෂණ කවුන්සිලයකදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චීන ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසු අවස්ථාවේදී තමන් ඒ පිළිබඳව දැනුවත් නොවන බව චීන රජයේ ප්‍රකාශක මාවෝ නින්ග් පවසා තිබෙනවා.
Financial Times බ්‍රහස්පතින්දා වාර්තා කළේ, ලි ෂැංෆු චීන රජයේ විමර්ශනයකට ලක්ව ඇති බව ඇමරිකානු රජය විශ්වාස කරන බවයි.
එමෙන්ම Wall Street Journal ද පසුගිය සතියේ චීන බලධාරීන් විසින් ආරක්ෂක අමාත්‍යවරයාව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බව වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම විමර්ශන සඳහා හේතු සාධක ඔවුන් පෙන්වා දී නැහැ.
ෂී ජින් පින් රජය තුළ අමාත්‍යවරයෙකුගේ අතුරුදන්වීමක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවීම ද විශේෂත්වයක්.
ගෙවුණු ජූලි මාසයේදී එරට හිටපු විදෙස් අමාත්‍ය චින් ගන්ග් ද (Qin Gang) මෙලෙසම අභිරහස් අන්දමින් අතුරුදන් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.
චීන රජය ඉන් දින කිහිපයකට පසුව නව විදෙස් අමාත්‍යවරයෙකු පත් කර තිබුණා.