කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.
එහි පවතින මහල් නිවාස තුනෙන් එකක විදුලි සෝපානයක ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති අතර ගිනි නිවන රථ කිහිපයක් පැමිණ ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගිනිගැනීමෙන් දේපල හානි රැසක් සහ ජන ජීවිතයටද බාධා එල්ල වී තිබෙන අතර මහල් නිවාස හිමියන් චෝදනා කරන්නේ මෙම ආපදා තත්ත්වය හමුවේ කිසිදු වගකිව යුතු නිලධාරියෙක් මැදිහත් නොවූ බවයි.
ඔවුන්ට අවශ්‍ය පහසුකම් මේ දක්වා සපයා නොමැති අතර ඒ හේතුවෙන් උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.
නිවාස හිමියන්ගේ විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් මේ වන තෙක් යථා තත්ත්වයට පත් වී නොමැති අතර ආහාර හිගතාවයකට පවා තමන් මුහුණ දෙන බව මහල් නිවාස හිමියන් පවසනවා.
පාසල් දරුවන්ගේ පාසල් ගමන අඩාල වී ඇති අතර රැකියා සදහා පිටත් වීමද අඩාල වී තිබෙනවා.
ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ආක්‍රමණයට ලක්ව ඇති බවත් නිසියාකාර නඩත්තුවක් සිදු නොවන බවටත් මහල් නිවාස හිමියන් දැඩි සේ චෝදනා කරනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ ගින්නෙන් විපතට පත් වූ තමන්ට සහනයක් සලසා දෙන ලෙසත් මහල් නිවාස සංකීර්ණයේ පවතින ගැටළුවලට ඉක්මන් සහ ස්ථීර විසදුම් ලබාදෙන ලෙසයි.