30 C
Colombo
Sunday, October 27, 2024

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගෙන් CIDයට පැමිණිල්ලක් (වීඩියෝ)

- Advertisement -

අධිකරණයට කරුණු වාර්තා කර කුමන්ත්‍රණකාරීව තමාව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතිඥ සුරේන් ඩී පෙරේරා සහ රොහාන් සිල්වා පියතුමා  සමඟ අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා හමුවී ඔහු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.

තමාට එරෙහිව කරුණු වාර්තා කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නොදැන සිටි බව අධ්‍යක්ෂකවරයා මෙහිදී ප්‍රකාශ කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තරිඳු ජයවර්ධන සඳහන් කළා.

කෙසේවෙතත්, මෙහි මුල් පැමිණිල්ල ඉන්දුක සිල්වා නම් නිලධාරියා වෙත ඔහු යොමු කළේ පූර්ව සැලසුමකට අනුව බව තමා දන්නා බව තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත පවසා තිබෙනවා.

තමාව අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ පැමිණිල්ල පහතින්,

2024 ඔක්තෝබර් 11 වැනිදා

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඊ එම් එම් එස් දෙහිදෙණිය මහතා,

අධ්‍යක්ෂ,

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව.

අධ්‍යක්ෂතුමනි,

නීති විරෝධී/පක්ෂපාතී සහ අසාධාරණ විමර්ශනයක් ගැන දැනුම්දීම

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන විසින් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් වසර පහකට පසු දේශපාලනික වුවමනාමත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස සිටින ඔබට ද පූර්ව දැනුම්දීමක් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රවී සෙනවිරත්න මහතා සම්බන්ධයෙන් යොමු කරන ලද පැමිණිල්ලට අදාල විමර්ශන හා සබැඳේ.

අපගේ දැනීම අනුව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයක පවතින එකම නඩුව එම ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන විසින් කරන ලද පැමිණිල්ලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බී 34097/24 දරණ පැමිණිල්ල වේ. එම පැමිණිල්ලට අදාලවම මට එරෙහිව නියෝගයක් ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දේව කුෂාන් ඉන්දුක සිල්වා නම් නිලධාරියා 2024 ඔක්තෝබර් 09 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. මෙය ව්‍යාජ සහ කුමන්ත්‍රණකාරීව මා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් බව ඔබට දැනුම් දෙනු කැමැත්තෙමි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ඔබ හොඳින්ම දන්නා පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සාමූහිකයක් සකස් කළ පසු ඔබට පවා පූර්ව දැනුම්දීමක් කරමින් මෙම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණු අතර පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා දේව කුෂාන් ඉන්දුක සිල්වා වෙත යොමු කරන ලෙසට පැමිණිලිකරු ඔබෙන්ද ඉල්ලා සිටි බව ඔබට මතක ඇතැයි විශ්වාස කරමි.

පොලිස්පතිවරයාට ලබා දුන් ලිපියේ පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන විසින් බාර දෙනු ලැබූ පසු 2024 ජූලි පළමු වැනිදා දිනැතිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න නම් නිලධාරියා එම ලිපිය පොලිස්පතිවරයා වෙත යොමු කිරීමෙන් පසු 2024 ජූලි 02 දින සටහන් කරමින් විමර්ශනයක් කිරීම අනුමත කර පොලිස්පතිවරයා (දේශබන්දු තෙන්නකෝන්) නැවත එම ලිපිය රොහාන් ප්‍රේමරත්න නම් නිලධාරියා වෙත යොමු කර තිබේ. ඔහු විසින් 2024 ජූලි 03 දින යොදමින් එම ලිපිය ‘සුදුසු විමර්ශන අංශයක් මගින් උක්ත උපදෙස් පරිදි විමර්ශනය කර වාර්තාවක් ලබා දෙන්න’ ලෙස සටහන් කර ඔබ වෙත එවීමෙන් පසු 2024 ජූලි 04 ලෙස සටහන් යොදා මිනීමැරුම් විමර්ශන අංශය අධීක්ෂණය කරන සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කර තිබිණි.

මෙම විමර්ශනය දේව කුෂාන් ඉන්දුක සිල්වා නම් නිලධාරී මගින් සිදු කරන ලෙසට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන කළ ඉල්ලීම අනුව ඔබ මෙය අදාල නිලධාරියා මගින් විමර්ශනය කරවීම සඳහා අදාල සහකාර පොලිස් අධිකාරී ලෙස යොමු කිරීමෙන් පසු දේවකුෂාන් ඉන්දුක සිල්වා නිලධාරියා විමර්ශන ආරම්භ කළ අතර ජනාධිපතිවරණයට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් යුතුව කුමන්ත්‍රණකාරීව මෙම විමර්ශනය සිදුවිය. ඒ් ගැන MediaLK යූටියුබ් නාලිකාව හරහා මම අනාවරණය කළෙමි. එසේම මෙම ව්‍යාජ කුමන්ත්‍රණකාරී පැමිණිල්ලට අදාල බොරුව හෙලිදරව් කිරීම පිණිස මම ජනමාධ්‍යවේදියකු ලෙස ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන යන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා MediaLK යූටියුබ් නාලිකාවේ සංවාදයක් ද කළෙමි.  එම සංවාදයෙන් පසුව මෙම පැමිණිල්ලට අදාල විමර්ශනයේ ඇති කුමන්ත්‍රණකාරී බව ගැන ජනතාව දැනගත්තේය.

අනතුරුව ජනාධිපතිවරණයෙන් පසු ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ පොත එළිදැක්වීමේ උත්සවයේදීත් තවත් මාධ්‍ය කිහිපයකදීත්, MediaLK යූටියුබ් නාලිකාවේදීත් සුරේෂ් සලෙ සහ පාස්කු ප්‍රහාරයට අදාල තොරතුරු කිහිපයක් හෙළිදරව් කළ අතර එම හෙළිදරව් කිරීමෙන් පසු කුමන්ත්‍රණකාරීව මා අත්අඩංගුවට ගැනීමේ අරමුණින් ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් දේව කුෂාන් ඉන්දුක සිල්වා නම් නිලධාරියා මට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන සහ විමර්ශන නිලධාරී දේව කුෂාන් ඉන්දුක සිල්වා කාලයක් තිස්සේ ළඟින්ම ඇසුරු කරන නිලධාරියකු වන අතර විමර්ශන උපදෙස් ලබා ගැනීම සඳහා අවස්ථා ගණනාවකදී පාලිත සිරිවර්ධන හමුවීමට පවා ගොස් තිබිණි. එසේම ඔහු පාලිත සිරිවර්ධන මහතා සමග ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා හමුවීමට ඔහුගේ නිවසට ද ගොස් තිබිණි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ලේකම්වසම් පාලිත රොහාන් සිරිවර්ධන මහතා කිලිනොච්චි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටියදී ඔහුගේ කොට්ඨාසයෙන් පිට කරන ලද කැණීමකට අදාලව උතුරු පළාත භාර එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති 2017 ජනවාරි 25 වැනිදා එම කැණීම ගැන පොලිස්පතිවරයා වෙත වාර්තාවක් එවා ඇති අතර එම වාර්තාවේ 11 වැනි ඡේදයේ මෙසේ සඳහන් වේ.

‘….මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන නිලධාරියා ඉහත සඳහන් කරුණු අනුව කොට්ඨාස භාර නිලධාරියකු වශයෙන් ස්වකීය රාජකාරි වගකීම හා වගවීම කිසිසේත්ම හඳුනා නොගත්, තමා උසස් යැයි වූ සම්මතයේ පිහිටා කටයුතු කරනු ලබන අයකු බවට පැහැදිලිව පෙනී යන බැවින් මෙම නිලධාරියා කිසිදු ක්‍රියාකාරී නොවන හා ක්‍රියාකාරී කොට්ඨාසයක් භාරව අනියුක්ත කිරීමට තරම් යෝග්‍යතාවක් ඇති අයකු නොවන බවත්, ඒ අනුව ඔහු කිලිනොච්චිය කොට්ඨාස භාර නිලධාරී තනතුරෙන් ඉවත් කර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ පුද්ගලික සහකාරවරයකු වශයෙන් අනියුක්ත කිරීම සුදුසු බවට නිර්දේශ කරමි.’

මෙම කැණීම් සිද්ධියට අදාලව අපරාධ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර තිබුණු අතර එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක අංක 02 හි ස්ථානාධිපතිව සිටි දේව කුෂාන් ඉන්දුක සිල්වා නිලධාරියා වෙත පාලිත සිරිවර්ධනට එරෙහි එම විමර්ශනය බාර කෙරිණි. කෙසේ වෙතත් ඔහු විමර්ශනයට පිටවී යන බවට සටහන් යොදා එහෙත් විමර්ශනයට පිටවී නොගිය බව පසුව අනාවරණය විය. පාලිත සිරිවර්ධන නිලධාරියාට පක්ෂපාතී ලෙස කටයුතු කරමින් සිනි විමර්ශනයක් සිදු නොකිරීම මත ශානි අබේසේකර එවකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා විසින් මෙම නිලධාරියා ඉවත් කෙරිණි.

ඒ අනුව රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් දෙදෙනා සමග දැඩි වෛරයකින් දේවකුෂාන් ඉන්දුක සිල්වා පසුවූ අතර ඔහු පාලිත සිරිවර්ධන නිලධාරියා හරහා ශානි අබේසේකරට එරෙහිව 2017 වසරේදී ලංකාදීප පුවත්පතේ වාර්තා පලකරවා ගැනීමට උත්සාහ කළ ද සත්‍ය තත්ත්වය සොයා බැලීමේදී ඔවුන්ගේ කතාව අසත්‍ය බව තහවුරුවීම මත මම කිසිවක් ලියා පළනොකෙළමි.

ඉන් අනතුරුවද ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේදී දේවකුෂාන් ඉන්දුක සිල්වා විසින්ම පෙත්සම් ගසා ඔහු විසින්ම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකරට එරෙහිව විමර්ශනය කිරීම ගැන අනාවරණය වීම මත (මේ ගැන පොලිස්පතිවරයාට යැවූ ලිපියේ සඳහන් කළෙමි.) මම දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කළෙමි.

ශානි අබේසේකර සහ රවී සෙනවිරත්නට එරෙහිව වෛරයෙන් පසු වූ නිලධාරියකු වන දේව කුෂාන් ඉන්දුක සිල්වා ඔහුගේ හිතවතකු වූ පාලිත සිරිවර්ධනගේ පැමිණිල්ලක් මතම රවී සෙනවිරත්නට සහ ශානි අබේසේකරට එරෙහිව විමර්ශනය කිරීම බරපතල ලබැඳියාවන් අතර ගැටුමකි. මේ බව මම මුල සිටම අනාවරණය කළෙමි. එය දූෂණ විරෝධී පනත යටතේ ද වරදක් බව සඳහන් කර තිබේ.

ඒ අනුව පාස්කු ඉරිදා එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරයේ සත්‍ය තොරතුරු හෙළිදරව්වීම වැලැක්වීම සඳහා කුමන්ත්‍රණකාරී ලෙස දේව කුෂාන් ඉන්දුක සිල්වා යන නිලධාරියා මා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක නියැලී සිටින බව දැනුම් දෙමි. ඇතැම්විට මෙම කුමන්ත්‍රණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ඔබ හොඳින් දන්නවා ඇතැයි මා විශ්වාස කරමි.

එසේ හෙයින් මෙම විමර්ශනය පක්ෂපාතී, ව්‍යාජ සහ කුමන්ත්‍රණකාරී වන බැවින් දේව කුෂාන් ඉන්දුක සිල්වා යටතේ එය සිදු නොකරන ලෙසත්, ඔහුගෙන් එම විමර්ශනය ඉවත් කරන ලෙසත්, දක්ෂ අවංක පක්ෂග්‍රාහී නොවන වෙනත් නිලධාරියකු වෙත විමර්ශනය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිමි. එම විමර්ශන එවැනි නිලධාරියකුට යොමු කළ පසු ඊට අදාල සියලුම සහයෝගය ලබාදීමට හැකි බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පවා අවශ්‍ය තොරතුරු හෙළිදරව් කිරීමට හැකි බවත් දැනුම් දෙමි.

(ලිපියේ සඳහන් කර ඇති ලේඛන අමුණා ඇත)

ස්තුතියි.

තරිඳු ජයවර්ධන

සංස්කාරක

Medialk.com

පිටපත්

1)      ලේකම්, මහජන ආරක්ෂක ආත්‍යංශය.

2)      පොලිස්පති, පොලිස් මූලස්ථානය.

3)      සභාපති, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.

4)      සභාපති, ජාතික පොලිස් කොමිෂන් සභාව.

5)      ජනමාධ්‍ය


https://www.news19.lk/there-is-a-conspiracy-to-arrest-me-journalist-tharindu-jayaw

RECENT ARTICLES - SINHALA

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධාකළ අයෙක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් හැටන් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එළැඹෙන දීපාවලී උත්සව සමය නිමිත්තෙන් තමන්ට අවැසි දෑ මිලදී ගැනීමට දිනපතා...

මටත් බහුතරේ නැහැ, අනුරටත් නැහැ – රනිල්

තමා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක යන දෙදෙනාටම බහුතරය නැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීගමුවේදී අද(27)පැවසුවා. පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නා ලෙස ජනාධිපති...

ඩඩ්ලිගේ හාල් මෝලට පාරිභෝගික අධිකාරියෙන් පැනලා

ප්‍රසිද්ධ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ පොළොන්නරුව, ඇතුමල්පිටිය අරලිය සහල් නිෂ්පාදනාගාරයට අද (27) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින්ගේ පරික්ෂාවට ලක්ව තිබෙනවා. එම නිෂ්පාදනාගාරයේ කලමණාකාරවරයා ඇතුළු නිලධාරින් පිරිසක්...

POPULAR ARTICLES

අනුර ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර...

ජොන්ස්ටන්ගේ පෙත්සම ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත්කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා නොවැම්බර් මස 05...

පත්තරේ ගිය අනුර – හරිනි අවුල ගැන පැහැදිලි කිරීමක්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක් පත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සහ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ගැටුමක් හටගෙන ඇති බවට...