නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ගස් කිහිපයක් විනාශ කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් ප්‍රදිප් දලන්සුරිය මහතා සඳහන් කළේ නුවරඑලිය ගොල්ෆ් ක්‍රිඩාංගණ භුමියේ පිහිටා ඇති කිසිදු අවධානමක් නොමැති වටිනා ගස් පනහක් කපා දැමිමට හෝ විනාශ කිරීමට එහි පාලන අධිකාරිය විසින් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කළ බවයි.
අක්කර 300 ක පමණ වපසරියකින් යුත් ගෝල්ෆ් ක්‍රීඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස්, රෙඩ් ගාන්ඩිස්, සයිප්‍රස් ඇතුළු නුවරඑළියට පමණක් ආවේණික වු ගස් පනහක බඳෙහි පොතු ගලවා එහි කළු තෙල් ගල්වා ඇති බවත්, එමඟින් ගස් වියළී ගොස් විනාශ වන බවත් නුවරඑළිය ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් තවදුරටත් පවසන්නේ නුවරඑළිය ප්‍රදේශයේ මිට ප්‍රථම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පරිසරය සුන්දර කිරීම සඳහා වගා කර ඇති ගස් කපා දැමීමට අනුමැතිය නොලැබෙන නිසා එම ගස් ඉතා සුක්ෂමව මෙවැනි ආකාරයට විනාශ කරන බවයි.
නුවරඑළිය සෙන්පති මැදුර ඇතුළු ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටා ඇති ගස් පනහක් මෙසේ විනාශ කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගෙන තිබුණා.
එම ගස් කපා දැමීමට හෝ විනාශ කිරීමට අදාළ රාජ්‍ය අයතන වෙතින් හෝ තමන්ගෙන් කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති නිසා එම ගස් කපා දැමීමට පියවර නොගන්නා ලෙස නුවරඑළිය ගොල්ෆ් ක්‍රිඩා සමාජයේ පාලන අධිකාරියට දැනුම් දුන් බවත් ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියා.
මේ සම්බන්ධයෙන් නුවරඑළිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ නිත්‍ය සමාජික මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නුවරඑළිය මහ නගර සභාවට සහ නුවරඑළිය ප්‍රාදේශීය ලේකම්වරයාට අයත් නගර මධ්‍යයේ පිහිටි අක්කර 300 ක පමණ වපසරියකින් යුත් මෙම ඉඩම නුවරඑලිය ගෝල්ෆ් ක්‍රීඩා සමාජයට 99 වසරක දීර්ඝ කාලීන බද්දකට නිදහස් කර ඇති බවයි.
එම ඉඩම නුවරඑළිය සංචාරක කර්මාන්තයට වටිනා සන්ධිස්ථානයක් බවත්, එම ක්‍රිඩාංගණය දැනට කොළඹ ප්‍රදේශයේ පදිංචි ඉහළ පන්තියේ පිරිසකගේ විනෝදාස්වාදය සදහා පමණක් භාවිතා කරන බවත් ඒ මහතා කියා සිටියා.
මහින්ද දොඩම්පේගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, මෙම ඉඩමට හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතා වසරකට විදේශිකයන් මිලියනයක් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපෘතියක් ඉදිරිපත් කළද, එම ව්‍යාපෘතිය සදහා ගොල්ෆ් ක්‍රිඩාංගණයේ ඉඩමේ කොටසක් නිදහස් කිරිමට එවකට සිටි දේශපාලන අධිකාරියේ සහ බලධාරින් පියවර නොගත් බවයි. (හැටන්- රංජිත් රාජපක්ෂ)