“සිරකරුවෝද මනුෂ්‍යයයෝය” යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළා.
දිගු යකඩ දම්වැලක මාංචු දමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කර තිබෙනවා.
සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටි බවයි වාර්තා වන්නේ.
අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු අංක 03 අධිකරණයේ කැඳවා තිබු අවස්ථාවේ රිමාන්ඩ් දීර්ඝය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබුණා.
අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි ප්‍රමාණයක් ඇතුලත් කළ නොහැකි බැවින් මෙලෙස එකම දැම්වැලක මාංචු දමා සැකකරුවන් අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීමට නිලධාරීන් කටයුතු කර තිබෙනවා.
දැම්වැල් දැමු රැඳවියන් අධිකරණ ශාලාවේ සිටිණු දක්නට ලැබූ මහේස්ත්‍රාත්වරයා විසින් අදාළ කරුණ දැඩි දෝෂ දර්ශනයට ලක්කර සිරකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සලකන ලෙසට දැඩි සේ අවවාද කළා.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරින් මහේස්ත්‍රාත්වරයාගෙන් සමාව අයැද සිටි බවට වාර්තා වනවා.
මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගයෙන් පසුව මාංචු සමඟ අධිකරණ ශාලාවේ සිටි රැඳවියන්ගේ විලංගු ඉවත් කිරීමට බන්ධනාගාරර නිලධාරීන් කටයුතු කරනු දක්නට ලැබුනු බවයි පැවසෙන්නේ.