මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම සැප්තැම්බර් මස 04 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
මෙම පෙත්සම අද (11) එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මේ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ මේ අවස්ථාව වන විට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා තම සේවාදායකින් විසින් දිනයක් නියම කර නොමැති බවයි.
ඊට අමතරව භාණ්ඩාගාරය විසින් ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මුදල් නිකුත් කරන අවස්ථාවක හෝ අදාළ ඡන්ද විමසීම පවත්වන ලෙස අධිකරණය විසින් නියෝගයක් නිකුත් කරන අවස්ථාවක හෝ එම අවස්ටහ්වට දෙකෙන් කලින් එළඹෙන අවස්ථාවක අදාළ ඡන්ද විමසීම පැවැත්වීම සඳහා දිනයක් නියම කරන බව තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙන බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙහිදී පෙන්වා දී තිබෙනවා.
මෙම පෙත්සම විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කිරීම සම්බන්ධයෙන් සාලිය පිරිස් මහතා පසුගිය නඩු දිනයේ දී මුලික විරෝධතාවක් ද මතු කරනු ලැබුවා.