සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය ඊයේ (06) නිමාවට පත් වුණා.
ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 221ක් ලබා සිටිනවා.
වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් පළමු දිනයේ ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ පන්දු වාර 44.1 ක් පමණයි.
පළමු තරග දෙකේදීම අසාර්ථක වූ වැඩබලන නායක ඔලී පොප් සිය අඩුපාඩු මඟහරවා ගනිමින් මෙවර සාර්ථකව තරගයට අවතීර්ණ වී සිටි අතර, ඔහු තරගය නතර කරන විටත් ලකුණු 103ක් රැස්කරගෙන සිටියා.
මෙය ඔහුගේ 07වැනි ටෙස්ට් ශතකය වන අතර, නායකයෙකු ලෙස රැස්කළ පළමු ශතකයයි.
ඔහුට අමතරව ආරම්භක පිතිකරු බෙන් ඩකට් ලකුණු 86ක් රැස්කරගෙන සිටියදී දැවීගියා.
කෙසේවෙතත්, තරගාවලියේ මේ දක්වා සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින ජෝ රූට්ගේ ඉනිම මෙවර ලකුණු 13කට සීමා වූ අතර, ආරම්භක පිතිකරු ඩැන් ලෝරන්ස් රැස්කළේද ලකුණු 05ක් පමණයි.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර (2/81) හා මිලාන් රත්නායක (1/34) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූවා.
අද තරගයේ දෙවැනි දිනයයි.