මෙරට වතු ජනතාව සඳහා ස්ථිර ලියාපදිංචි තැපැල් ලිපින ලබාදීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙනවා.
මාවතගම, මුවන්කන්ද වතුයායේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය, නීතිපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම්කර ඇති බව සඳහන්.
මෙරට වතු ජනයාගෙන් බහුතරයක් පෞද්ගලික සමාගම්වලට අයත් ඉඩම්වල පදිංචි වී සිටීම හේතුවෙන් ඔවුන්ට ඉඩම් හිමිකාරිත්වය අහිමි වී ඇති බව පෙත්සම්කරු කියාසිටිනවා.
ඡන්දය ලියාපදිංචි කිරීම, ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම, විවාහ ලියාපදිංචි කිරීම, බැංකු ගිණුම් විවෘත කිරීම, මරණ සහතික ලබාගැනීම, පාසැල්වලට ළමුන් ඇතුළු කිරීම, සමෘද්ධි වැනි සුබසාධන දීමනා ලබාගැනීම වැනි කටයුතු ඉටුකර ගැනීමේදී එම ජනයාට දැඩි අසීරුතාවයකට මුහුණ දීමට සිදුවන බවයි පෙත්සම්කරු පවසන්නේ.
මෙයට හේතුව ලෙස ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් වතු 277ක ලක්ෂ 4ක පමණ පිරිසක් වාසය කරන බවත් ඒ කිසිවකුට පෞද්ගලික ලියාපදිංචි ලිපිනයන් නොමැති වීම බව පෙත්සමේ පෙන්වා දී තිබෙනවා.
එම තත්ත්වය තුළ වතු ජනයාගේ නිවෙස්වලට ලියාපදිංචි තැපැල් ලිපිනයන් ලබානොදීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.