සසෙක්ස් හි ආදිපාදවරයා වන හැරී කුමරු සහ ආදිපාදවරිය මේගන් මර්කල් ඔවුන්ගේ දෙවන දරුවා වන ගැහැණු දරුවාගේ උපත නිවේදනය කර තිබේ.
ලිලීබෙට් “ලිලී” ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සර් සිකුරාදා උදෑසන කැලිෆෝනියාවේ සැන්ටා බාබරා හි රෝහලක උපත ලැබීය.
මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව මෙම යුවළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
මෙම පුවත බකිංහැම් මාළිගය වෙත දන්වා ඇති අතර රැජිණ ඇතුළු සියලු දෙනා මෙම පුවතින් සතුටු වූ බව බකිංහැම් මාළිගය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
හැරී කුමරු සහ මේගන් කියා සිටියේ තම දෙවන දරුවාට ලිලිබෙට් යන නම තැබූ බවයි.
ඇගේ මැද නම ලෙස ‘ඩයනා’ තෝරාගෙන ඇත්තේ හැරීගේ ආදරණීය මව වන වේල්ස් කුමරියගේ ගෞරවය පිණිස බව ද ඔවුන් පවසා තිබේ.