කොරෝනා වසංගතය ජුනි මාසයෙන් පසුව අවසන් වන්නේ යැයි කවරෙකු හෝ මේ මොහොතේ ප්‍රකාශයක් කළහොත් එය ලාංකිකයන්ට විස්මජනක වනු ඇත. මන්දයත් වෙනදා නැති තරමින් යථාර්ථයට මුහුණදීමට දැන් මිනිසුන්ට සිදුව ඇති බැවිනි. එහෙත් අලුත් අවුරුද්දෙන් පසුව කොරෝනා අවසන් බවට බහුබූත අනාවැකි කී පිරිස් අප්‍රේල් මස ආරම්භයේ නම් මේ රටේ සිටියහ. එපමණක් නොවේ. මේ කතාවල විද්‍යාත්මක සත්‍යතාව ගැන සෙවීම පසෙකලා රට කරවන්නන් සතුටු වන ආකාරයේ වැඩ රාජකාරිය කරගත් ජනමාධ්‍යයක් ද සිටියේය. කොරෝනා වසංගතයේ වෙනස්වන ස්වභාවයන් හා ඊට එරෙහිව ජාතිය එක්සත් කිරීම වෙනුවට මේ ජනමාධ්‍ය කළේ වෙන වැඩය. ඒවා කීපයක් පමණක් යළි සිහිකළ යුතුව තිබේ.
1.තමන් බලයට ගෙන ආ ආණ්ඩුවේ අධිපති වැඩවලට ඉහළ ප්‍රචාරයක් දීම.
2.ආණ්ඩුවේ දෘෂ්ටිවාදය වෙනුවෙන් මුස්ලිම් මෘතදේහ ආදාහනයට විරෝධය දැක්වීම ආදී ජාතිවාදී ක්‍රියා උත්කර්ෂයට නැගීම.
3.කොරෝනා අර්බුදය වෙළෙඳපොළක් සේ සලකා නිරෝධායනයට හෝටල් සැපයීම ආදී වැඩවලින් තමන්ටත් කීයක් හෝ උපයාගැනීමට මාන බැලීම.
4.කොවිඩ් සම්බන්ධයෙන් වූ ලෝක සම්මත එන්නත්කරණ වැඩපිළිවෙල වෙනුවට පැණි බෝතල්, පිරිත් හට්ටි වැනි ව්‍යාජ ආදේශකවලට විශාල ප්‍රතිචාරයක් දෙමින් ජන මනස විකෘති කිරීම.
5.රටට ලෝකයට උදේ හවා ප්‍රචාරය කරන කොවිඩ් මර්දන මාර්ගෝපදේශ සිය ආයතන තුළ දණින් ඉහළට මායිම් නොකිරීම.
6.දුරස්ථකරණය නොතැකීම, වැඩ මුර සකස් නොකිරීම, සනීපාරක්ෂාව සහතික නොකිරීම ආදී වගකීම් විරහිතවීම් නිසා සිය මාධ්‍ය ශ්‍රමිකයන්ට කොවිඩ් වැළඳුණු කළ එම දත්ත සැඟවීම.
7.ආසාදිතයන් සංඛ්‍යාත්මකව ඉහළ ගොස් මාධ්‍ය පොකුරු නිර්මාණය වූ කළ දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ මිතුරු සබඳතා භාවිත කරගෙන ආයතන නොවසා පවත්වාගෙන යෑමට දේශපාලන අනුග්‍රහය ලබාගැනීම.
8.එන්නත්කරණ වැඩපිළිවෙලේ ඇති පිළිවෙලක් නැතිකම ප්‍රශ්න කරනු වෙනුවට සිය ආයතනවල සේවකයන්ට ද එන්නත් ලබාගැනීමට පස්සා දොරෙන් ගනුදෙනු කරන තැනකට තල්ලුවීම.
මෙසේ පොදුවේ දැක් වූ මාධ්‍ය අපහරණ හැරුණු විට ලංකාවේ ජනමාධ්‍ය රැඩිකල් ලෙස පීලි පැන්නූ සිදුවීම් කීපයක් ද වේ. දෙරණ මාධ්‍ය නාළිකාවේ හිමිකරු දිලිත් ජයවීර මහතා ජනාධිපති කාර්ය සාධක බළකාවලට හා රාජ්‍ය සේවා කොමිසමට පත්කිරීම ඊට එක් උදාහරණයකි. ආණ්ඩු සමග පස්සා දොරෙන් ගනුදෙනු කිරීම වෙනුවට එක පතේ කන පිළිවෙතකට අවතීර්ණ වීම යනු මෙරට ජනමාධ්‍ය භූමිකාවේ රැඩිකල් පොලාපැනීමක් වුවත් එය ජනතාවට ඒ තරම් සන්නිවේදනය වී නැත. එනිසා එසේ වන්නේ මන්ද ගැන වෙනම කතා කළ යුතුය. ඒ නිසා පොදුවේ කොවිඩ් හමුවේ ජනමාධ්‍යයේ විපරීත භූමිකාව ගැන දැනට කතා කරමු.
කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කළ වැදගත් කරුණක් වූයේ අවදානම සන්නිවේදනයයි. එහෙත් ආරම්භයේ පටන්ම ලංකාවේ ප්‍රධාන යැයි කියන විද්‍යුත් මෙන්ම මුද්‍රිත මාධ්‍ය ධාරා ක්‍රියා කළේ මීට ප්‍රතිවිරුද්ධ දිශාවකටය. ඊට සරල නිදසුනක් නම් කොරෝනා තවමත් සමාජගත වී නැතැයි කියා ප්‍රකාශ කිරීමට ආණ්ඩුවේ ප්‍රකාශකයන් දැක් වූ උනන්දුවට අසාමාන්‍ය සහායක් දීමට ජනමාධ්‍ය පෙළඹීමය. පසුගිය වසරේ මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත්වල පළමු පිටුත් සන්ධ්‍යා රූපවාහිනී පුවත් සිරස්තලත් පරීක්ෂා කළහොත් මෙම කරුණ පහසුවෙන් අනාවරණය කරගත හැකිය. ජනමාධ්‍ය ආයතන සත්‍ය අනාවරණය කිරීමෙන් වැලැකී මෙසේ අවදානම සන්නිවේදනය වෙනුවට අවධානය වෙනතකට යොමු කරන වැඩවල නිරත වූයේ ඇයි? ජනතාව ලෙස ඔබ ඇසිය යුතු පැනය එයයි. කෙටියෙන් කිවහොත් මේ ප්‍රධාන යැයි කියන ජනමාධ්‍ය සැබැවින්ම ජනයාගේ පාර්ශ්වය වෙනුවට කලින් කලට බලයට පත්වන දේශපාල හවුල් සමග ඇති ගනුදෙනුවයි.
ජනතාවට දැනුම හා විනෝදය සම්පාදනය ජනමාධ්‍යයේ ප්‍රමුඛ වගකීමකි. එහෙත් රටේ ප්‍රධානතම පෞද්ගලික නාළිකා ආසන්න ඉතිහාසය පුරා ජනතාවට දැනුම වෙනුවට පොම්ප කරමින් සිටින්නේ විනෝදයයි. ආර්ථික වශයෙන් දිනෙන් දින පරාභවයට යමින් ආතතියට පත්ව සිටින ශ්‍රී ලාංකිකයන්ට තාවකාලික හුස්මක් දීම ඔවුන්ගේ වෙළෙඳපොල වී තිබේ. ඉතින් කොරෝනා සම්ප්‍රාප්තිය සමග මේ විනෝදසම්පාදක වෙළෙඳපොලට ද ප්‍රශ්න රැසක් පැමිණියේය. ආණ්ඩුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අත්‍යවශ්‍ය රාජකාරි හැරුණු විට මිනිසුන්ට සංචරණය සීමා වූ අතර සැණකෙළි මතු නොව විවාහ උත්සව ආදී මනුෂ්‍ය ජීවිතයේ තීරණාත්මක සංස්කෘති වැඩසටහන්වලට පවා තිත තියන්නට පොදු සමාජයට සිදුවිය. එහෙත් මේ කියන රූපවාහිනී නාළිකා මෙකී මාර්ගෝපදේශ තැකුවේ නැත. ඔවුන් කළේ ඒ වෙනුවට පොලිසිය වැනි රාජ්‍ය සංස්ථා සිය දේශපාලන බලය භාවිත කර පාලනය කරමින් ගායකයන් තේරීම, නැටුම් නැටීම, නළු නිළියන් සහභාගී කරගත් ප්‍රසංග පැවැත්වීම ආදිය අනවරතව කරගෙන යාමය. මේ නිසා ජනමාධ්‍ය ආයතන අභ්‍යන්තරයේ සේවක පිරිස්වලට සේවය කිරීමට සිදුවූයේ දැඩි අනතුරුදායක පරිසරයකය. අවසානයේදී අවදාන සන්නිවේදනය ප්‍රමුඛ වගකීම වූ ආයතන නළු නිළියන් සමග පිස්සු කෙලිද්දී ඒ ගැන සිය ආයතනික ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කිරීමට සිදුවූයේ අවදානමට පත් අසරණ සේවකයන්ටය. ප්‍රතිඵලය වූයේ ප්‍රශ්න කළ පිරිස් හා නීතිවිරෝධී ප්‍රසංග ගැන සමාජ මාධ්‍යයේ ලියූ හා භාහිරට තොරතුරු දුන්නා යැයි සැක කෙරූ මාධ්‍ය වෘත්තිකයන් රැකියාවලින් දොට්ට දැමීමය.
මේ ක්‍රියාවලිය ගැන ලංකාවේ පොලිසියේ ඉහළම තනතුරු දරන්නන් හොඳින් දැනුවත්ය. උදාහරණයකට හිරු නාළිකාව සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් සිය ආයතන පරිශ්‍රයට නළු නිළියන් බුරුතු පිටින් රැස්කළ විට ඒ ගැන පුවත්පත් මාධ්‍යවේදීන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැන්නන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් දැක්විය හැකිය. පොලිසිය ඒ සෑම අවස්ථාවකදීම කළේ සිදුවීම් ගැන විමර්ශන කිරීම පසෙක තබා සිදුවීම නොදුටු නියා කාලයෙන් වැසී යන්නට සැලැස්වීමය. ඊට ද ප්‍රධාන හේතු දෙකක් තිබේ. එකක් නම් දේශපාලනීකරණය වී ඇති ශ්‍රී ලංකා පොලිසියේ පළමු පුටුවට පත්වීම් කරද්දී ජනමාධ්‍යයේ හයිය නැතිව බැරිවීමය. දෙවැන්න නම් බලයේ සිටින ආණ්ඩුවට මේ කියන මාධ්‍ය හිමිකරුවන් සමග ඇති අඹ යාළුකම විසින් ඔවුන්ට ඇතිකරනු ලබන පීඩනයයි.
දෙරණ හිමිකරු වූ දිලිත් ජයවීර මහතා කොවිඩ් මර්දන කාර්යසාධක බළකාවල ද සිටිමින් කොවිඩ් මර්දන ව්‍යාපාරයේ කොටස්කරුවකු වී ලාභ ලැබීම ගැන යම් අන්දමක අඳෝනාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නැගුණි. එහෙත් ඒ සමගම දෙරණ නාලිකාවෙන් හා එහි මුද්‍රිත ප්‍රකාශනය වූ අරුණ පුවත්පතෙන් අනවරතව එල්ල වූ මාධ්‍ය ප්‍රහාරවලට ලක්වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සිදුවිය. වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒමට මතවාදී තලයේ විශාල සහායක් දැක් වූ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට ද කරකියාගන්නට දෙයක් නැති විය. දිලිත් ජයවීර වැනි ව්‍යාපාරිකයන්ගේ ආර්ථික උපදෙස්වලට ප්‍රමුඛතාව දී රට වසාතැබීමට නොහැකි යැයි ජනාධිපතිවරයා කියද්දී අවසන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට සිදුවුණේ සිය දුක කියන්නට ප්‍රවෘත්ති සාකච්ඡා තබන්නටය. මෙය කෙතරම් ඛේදයක් වීද යත් එක් අවස්ථාවක සෞඛ්‍ය අංශයේ දත්ත වාර්තා වෙනුවට දෙරණ නාළිකාව තමන්ගේම ක්‍රමයට ප්‍රස්ථාරයක් සකසා දත්ත සන්නිවේදනය කරන්නට පටන්ගත්තේය. එය මු`ඵමනින්ම අවදානම සම්බන්ධයෙන් ව්‍යාජ සන්නිවේදනයක් විය. එහෙත් වෙනදා ආණ්ඩු පෙරලන තරමින් හඬ නැගූ රජයේ වෛද්‍ය නිලධාරින්ට කරන්නට දෙයක් තිබුණේ නැත. කොරෝනා වසංගතය අස්සේ මේ රටේ ජනමාධ්‍ය පිස්සු කෙලියේ එහෙමය.
එහෙත් දැන් හිටිහැටියේ ඇතැම් ජනමාධ්‍ය නින්දෙන් ඇහැරී තිබේ. නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සහ ඇඳුම් මෝස්තර ශිල්පියකු වන චන්දිමාල් ජයසිංහ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත් වූ සාදය සම්බන්ධයෙන් හිරු නාළිකාවේ ප්‍රබෝධය ඊට එක් උදාහරණයකි. හිරු නාළිකාවේ මේ නාටකීය අවදිවීමට ජනතා ප්‍රතිචාරය ඊටත් වඩා උත්ප්‍රාසජනකය. සමාජ මාධ්‍යයේ පළ වන අදහස් ගතහොත් පොදු ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් මෙම සිදුවීම තේරුම්ගන්නේ චමුදිත සමරවික්‍රම නමැති රූපවාහිනී නිවේදකයා රටේ නීතිය ගැන කළ ප්‍රශ්න කිරීමක් හැටියටය. හිටිහැටියේ හිරුගේ රශ්මිය විහිදීම පසුපස ඇති දේශපාලනය පොදු මහජනතාවට තේරෙන්නේ නැත. චමුදිතගේ නාටකීය මුහුණ, සළකුණ වැඩසටහනේ බලු පොරයක් සිහිගන්වන ප්‍රශ්න කිරීමෙන් ලැබෙන සාහසික සතුට වැනි කරුණුවලින් ඔබ්බට ගොස් චමුදිතලා නොඅසන ප්‍රශ්න (නිරෝධායන නීති නොතැකූ තොණ්ඩමන්ගේ මළ ගෙදර, රාජපක්ෂවරුන් සහභාගී වූ නුවරඑළියේ වසන්ත සැණකෙළිය, ජනයා ඒකරාශි කිරීමට උත්තේනය දුන් ගම සමග පිළිසඳර, එන්නත්කරණ අවභාවිතය ආදී ප්‍රශ්න සිය ගණනක්) ගැන ඔවුන්ට සිහිවන්නේ නැත. අඩුම තරමින් චමුදිත යනු දැනටත් පස්සා දොරෙන් දේශපාලනය කරන හා යහපාලන ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපතිවරයාගේ සම්න්ධීකරණ ලේකම්වරයකු බවවත් ඔවුහු නොදනිති. මේ නිසා ඔවුන් මේ මොහොතේ දකින්නේ චමුදිත යනු පොදු ජනයාගේ වීරයෙකු හැටියටය. හිරු ද දෙරණ ද ඇතු`ඵව අධිපති ජනමාධ්‍ය හිමියන් එක්ව සැකැසූ මේ රටේ දේශපාලන දෘෂ්ටිවාදයට අනුව පුදුම විය යුතු දෙයක් ද නොවේ.
දන්නා විද්‍යාව වෙනුවට නොදන්නා පැණියක් පසුපස ගොස් අනතුරේ වැටෙන්නට පෙර ධම්මික බණ්ඩාර බෝධිසත්වයකු හැටියට දුටුවේ ද මේ මහජනයාය. උත්ප්‍රාසය නම් ඒ මහජනයාටත් නැවතත් පෙරලා ඒ දැක්ම දෙනු ලැබුවේ අනවරතව පැණිය වර්ණනා කළ මේ ජනමාධ්‍ය ආයතන විසින්ම වීමය. ඉතින් අවසාන විග්‍රහයේදී මේ අවුලේ ප්‍රධාන සාධකය නම් පොදු ජන මනස තමන් කැමැති දිශාවලට දක්කමින් පිස්සු කෙළින්නට මේ ප්‍රධාන ජනමාධ්‍ය ධාරාවට ඇති මාධ්‍ය බලයයි. සිහිබුද්ධියක් ඇතැයි කියන ජනයාට මෙය තේරුණත් කෙටිකාලීන සතුරෙකුට වචනයෙන් හෝ තලමින් (මේ මොහොතේ අජිත් රෝහණ මෙන්) තාවකාලික වින්දනයක් ලබාගැනීම ඔවුන්ගේ ද ජීවන සම්ප්‍රදාය වී තිබේ. වෙනත් ලෙසකින් කිවහොත් චමුදිත සමරවික්‍රමලා මේ මොහොතේ රියැලිටි ෂෝවලින් ලබාදෙන මට්ටමේම විනෝදයක් මහජනයාට ලබාදෙමින් තිබේ. පාන් බාගයක් ගන්නට බස් රියකට ගොඩවන්නට තරඟ කරන නොකරන තැලෙන නොතැලෙන සියලු ජනයාට එය මේ මොහොතේ අත්‍යවශ්‍ය විනෝදයකි.