ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා ඉදිරිපත් නොවී සිටීමට තමා තීරණය කර ඇති බව හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
News19 කළ විමසීමකදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීම පමණක් නොව සමස්ත දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමා සූදානමින් සිටින බවයි.
ඉදිරි දින කිහිපයදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමටද තමන් බලාපොරොත්තු වන බවද බන්දුල ගුණවර්ධන මහතා සදහන් කළා.
දේශපාලනයේ නිරත වන සියලු දෙනා හොරු, දූෂිතයින් සහ වංචාකාරයින් බවට සමාජයේ මතයක් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් තමා කළකිරිමට පත්ව ඇති බවත්, එවැනි චෝදනාවලට ලක්වීමට තමා තවදුරටත් දේශපාලනයේ නියැලිය යුතු යැයි අදහස් නොකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියා.
ආර්ථික විද්‍යාත්මක සත්‍ය සාමාන්‍ය ජනතාවට පමණක් නොව බුද්ධිමත් යැයි කියන පිරිසකට පවා වටහා ගැනීමට නොහැකි වී ඇති පසුබිමක තමා පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් අලුත් යමක් කල හැකි යැයි තමන් විශ්වාස නොකරන බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ඉදිරියේදී තමන්ගෙ විවේක කාලය පොතක් පතක් කියවාගෙන ගතකිරීමට බලාපොරොත්තු වන බවත් 1989 සිට තමන් ගතකල පාර්ලිමේන්තු දිවිය මින් අවසන් වන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර තවත් හිටපු අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක්ම මෙවර මහමැතිවරණයට තරඟ නොකිරීමේ සූදානමක් ඇති බවටද තොරතුරු වාර්තා වනවා.