වසර කිහිපයක් තිස්සේ රජයේ ආයතන පනස්දෙකක විගණනයන් නිසි පරිදි සිදුවී නොමැති නිසා ලබන ජූලි මසට පෙර එම ආයතන සම්බන්ධයෙන් රජයේ විගණකාධිපතිවරයා යටතේ පූර්ණ විගණනයක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ප්‍රදානය කිරීමේ දී පනවා තිබෙන කොන්දේසි අතර රාජ්‍ය ආයතන පනස්දෙකේ විගණනය අවධාරණය කර තිබෙන අතර ඒ අනුව 2021/2022 ට අදාළ විගණන වාර්තා ජූලි මසට පෙර ලබාදෙන ලෙසට ද දැනුම් දී තිබෙන බව සඳහන්.
විගණකාධිපතිවරයා වෙත රජයේ ආයතන භාර අමාත්‍යාංශ ලේකම්වරුන් එම ආයතනවල මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි ලබාදීමට අපොහොසත්වීම නිසා මෙලෙස විගණනය සිදුකර නැති බවට අනාවරණය වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මතුකර තිබෙන මෙම කාරණාව සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න මහතා කියා සිටියේ අදාළ ලයිස්තුව තමා සන්තකයේ නොමැති නිසා විගණනයට ලක් වී නැති ආයතන ගණන කිව නොහැකි බවයි. නමුත් ඇතැම් රාජ්‍ය මූල්‍ය ආයතන ඇතුළු යම් යම් ආයතන මූල්‍ය ප්‍රකාශන නිසි පරිදි ලබා නොදෙන නිසා ඒවායේ විගණන ප්‍රමාද විය හැකි බවද ඒ මහතා ප්‍රකාශ කළා.
වී අලෙවි මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ඇතැම් සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල වසර හතර පහක කාලයක් තිස්සේ අදාළ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන විගණකාධිපතිවරයා වෙත යොමු නොකර පැහැර හැර ඇති බවත් ඇතැම් මූල්‍ය ප්‍රකාශන වසර තුන හතරකට පසු ලැබෙන බවත් ජාතික විගණන කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය මූල්‍ය ආයතන සම්බන්ධව ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන්නේ ඒ ඒ ආයතන භාර අමාත්‍යාංශ ලේකම්වරයා යි. රජයේ විගණකාධිපතිවරයා වෙත අදාළ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන ලබාදීමට බැඳී සිටින ඇතැම් අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ වගකීම නිසි පරිදි ඉටුනොකිරීම නිසා රාජ්‍ය ආයතන පනස් දෙකක විගණනය සිදු නොවී ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයිඑම්එෆ්) කරන චෝදනාව සත්‍ය බව ද විගණන කාර්යාලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.