වැලිකඩ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුව ගෙන සිටි තරුණයෙකු පොලිස් භාරයේ සිටියදී මිය යෑම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පොලිස් භාරයේ සිටි මෙම තරුණයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අප්‍රේල් 02 දින අළුයම් කාලයේදී මිය ගොස් තිබුණා.
මෙසේ මිය ගොස් තිබුණේ වැලිකඩ පොලිසිය විසින් අප්‍රේල් මස පළමුවැනිදා සැකපිට අත්අඩංගුවට ගත් 26 හැවිදිරි සත්සර නිමේෂ් නමැති තරුණයෙක්.
සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කළේ, අප්‍රේල් 01 දින රාත්‍රී කාලයේ වැලිකඩ පොලිස් වසමේ නාවල ප්‍රදේශයේ නිවසකට පුද්ගලයෙකු ඇතුළු වී සිටින බවට වැලිකඩ පොලිසියට ලද තොරතුරක් අනුව වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් විසින් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර තිබූ බවයි.
පොලිස් නිලධාරින් එම නිවසට ඇතුල් වූ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු යම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් මෙම අයගේ ආරක්ෂාව සඳහා වහාම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලීසිය පවසනවා.
එමෙන්ම, පොලිස් ස්ථානයේදී මෙම පුද්ගලයා කලහකාරී ලෙස හැසිරෙමින් සිර මැදිරිය ආශ්‍රිතව බිත්තියේ ඔහුගේ ශරීරයේ කොටස් වද්දා ගනිමින් නිලධාරීන්ට පාලනය කර ගැනීමට නොහැකි වන ආකාරයට හැසිරී ඇති බවත් ඒ අනුව නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් දරා මෙම සැකකරු මුල්ලේරියාව මානසික රෝහල වෙත ඇතුළත් කළ බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
කෙසේවෙතත්, පොලිසිය තුළදී සිදු වූ වධහිංසා මේ මරණයට හේතුව බවට එම තරුණයාගේ ඥාතීන් චෝදනා කරනවා.
වැලිකඩ පොලිසියේ අත්අඩංගුවට පත් වූ ඔහු එදින එනම් පසුගිය (01)වනදා සිය මවට ඇමතුමක් ගෙන පොලිස් නිලධාරින් විසින් තමන්ට හිරිහැර කරන බවට දැනුම්දී ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා.