කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක සිදු වූ පිපිරීමට හේතුව සොයා විමර්ශන සිදුකර තිබෙනවා.
එහි ගෑස් ගබඩාකිරීම හා නිකුත් කිරීම නීත්‍යානුකූල අයුරින් සිදුවූවක් ද යන්න පිළිබඳයි ඇතැම් පාර්ශ්ව සැක පළ කරන්නේ.
ඊයේ (07) රාත්‍රියේ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ලොරි රථයක තිබූ සිලින්ඩර වෙත ගෑස් පුරවමින් සිටියදී සිදුවූ පිපිරීමකින් සිව්දෙනකු ජීවිතක්ෂයට පත් වුණා.
එම අවස්ථාවේ ඇතිවූ හදිසි ගින්නෙන් තවත් සිව්දෙනකු තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටි අතර ඉන්ධන පිරවුම්හලට පැමිණ සිටි ත්‍රිරෝද රථ රියදුරකු ද ඒ අතර වනවා.
කුරුණෑගල පෞද්ගලික කර්මාන්තශාලාවකට අයත් ලොරි රථයක් එහි භාවිත කරන ගෑස් සිලින්ඩර රැගෙන ඊයේ රාත්‍රියේ කුරුණෑගල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වැහැර IOC ඉන්ධන පිරවුම්හල වෙත පැමිණ තිබුණා.
රාත්‍රී 11.30ට පමණ එහි සිලින්ඩරවලට පිරවුම්හලේ ටැංකියකින් ගෑස් පිරවීම ආරම්භ කර තිබුණු අතර හදිසියේම එහි පිපිරීමක් සමඟ හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා.
ඒ වන විටත් ලොරි රථයේ රියදුරු , එහි සහායක, ඉන්ධන පිරවුම්හලේ සේවකයකු මෙන්ම පිරවුම්හලේ කළමනාකරුද ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව තිබුණා.
මියගිය පුද්ගලයින්ගේ මෘත ශරීර එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තිබියදීම අද (08) උදෑසන ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ රජයේ රස පරීක්ෂක නිරීක්ෂණයද සිදුකෙරුණා.
කෙසේවෙතත් මෙහි පිපිරුමට හේතුව ගෑස් කාන්දුවක්ද ? එසේනම් එය සිදුවූයේ කෙසේද ? මෙවන් ඉන්ධන පිරවුම්හල් පරිශ්‍රයක අනාරක්ෂිත ලෙස ගෑස් පිරවීමක් සිදුකළේ කෙසේද ? ඒ සඳහා නෛතික අනුමැතියක් තිබුණේද ? යන ගැටලු මේ වන විට මතුව තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ රස පරීක්ෂක වාර්තාව ලැබෙනතුරු ඊට අදාළ අනෙකුත් විමර්ශන සිදු කෙරෙන බවයි.