හයබුසා 2 යානයට තියෙන්නෙ විස්මිත කතාවක්. අවසන් වරට අපේ අය හයබුසා 2 යානය පියවි ඇසින් දකිද්දී මහින්ද රාජපක්ෂ ලංකාවෙ ජනාධිපති. අවුරුදු හයකත්, දවස් තුනකට පස්සේ තමයි හයබුසා 2 දකින්නේ. හැංගිලා හිටපු හයබුසා 02 කියන්නේ කවුද? හයබුසා හැංගුණේ කොහොමද?
හයබුසා ඉර වටේ රවුමක් ගියා. 2014 දෙසැම්බර් මාසයේදී ජපන් අභ්‍යවකාශ මෙහෙයුමක් ලෙස හයබුසා පටන්ගත්තා. ඒ කියන්නේ ජපානයේ ටෙනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වුණා. ඒ යානයෙන් හොයන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය පටන්ගත්ත හැටි සහ විශ්වය පටන්ගත්ත හැටි ගැන. (කොහෙද විවිධ ආගම්වල අය මේක දෙවියන් මැව්වා, මහ බඹු මැව්වා කියලා කිව්වාට මනුෂ්‍ය වර්ගයාට ඒවා විශ්වාස කරගෙන ඉන්න බෑ. හොයාගෙනම දැනගන්න එපැයි.)
මේ යානය උල්කාපාතවලටත් ගොඩබැස්ස එකක්. එහෙම ගොඩබැහැලා, ඒවායින් එකතු කරගත්ත පස් තියෙන පොඩි කැප්සියුල් එකක් පෘථිවියට ඉහළින් අතාරින්න නියමිතයි. ඒක අතාරින්නේ කිලෝමීටර් 220,000ක් උඩ ඉඳලා. ඒ නිසා ලේසි පාසු කැච් එකක් නෙවෙයි අල්ලන්න තියෙන්නේ. ජපාන මෙහෙයුමක් වුණාට කැප්සියුල් එක දාන්නේ ඕස්ට්‍රේලියාවේ වුමෙරා කියන ඒරියා එකට. ඒක වෙන්න නියමිත දෙසැම්බර් 05 වැනි ඉරිදා.
මේ යානය 2018 දී රියුගු කියන ග්‍රාහකයට ගොඩබැස්සේ ඉරේ අනෙක් සයිඩ් එකට ගිහින්. ඒ වෙද්දී කිලෝමීටර් බිලියන 3.2ක් මේක ගමන් කරලා තිබුණා. රියුගු ග්‍රාහකයට ගොඩබැස්සා කීවාට, ගොඩක් වෙලා හිටියේ නෑ. මේ රොබෝ යානය ග්‍රාහකය මතට පොඩි පෙත්තක් හලලා, දූවිලි ටිකක් හූරාගෙන එකතු කරගෙන.
ඒත්, ඒක එතැනින් නැවතුණේ නෑ. තවත් වතාවක් ග්‍රාහකයකයේ යට පැත්තට ගොඩබැහැලා, අවුරුදු බිලියන 4.6ක් පරණ ග්‍රාහකයේ මතුපිට දේවල් එකතු කරගත්තා.
මේ ග්‍රාහක කෑලි බිහිවුණේ අපේ සෞරග්‍රහ මණ්ඩලය බිහිවෙද්දීම බව තමයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ. ඒ කියන්නේ, ඒවායේ තියෙන පස් අංශු බලලා සෞරග්‍රහ මණ්ඩලයේ උපත ගැන හොයන්න පුළුවන්. ඊළඟට රියුගු ග්‍රාහකයේ තියෙන කාබනික අංශු ගැනත් බලනවා. ඒ කාබනික අංශු විශ්වයේ තියෙන හරි භයානක කිරණවලින් විනාශ නොවී ආරක්ෂා වෙලා තියෙන බව විශ්වාස කරනවා. කාබනික ද්‍රව්‍ය කියන්නේ ජීවය බිහිවෙන්න මුල්වෙච්ච කාරණයක්. ඒ නිසා ඒ වගේ කාබනික ද්‍රව්‍ය ජීවය බිහිවෙන්න බලපෑවාද කියලා බලන්න පුළුවන්.
දැන් විද්‍යාඥයො නියපොතු හප හපා ඉන්නෙ ඒ සාම්පල් ටික ඕස්ට්‍රේලියාවට අත්හරිනකල්.
වැඩේ කියන්නෙ මේ කැප්සියුල් එක සෙන්ටිමීටර් 40ක එකක්. ඒක හොයාගන්නේ මෙහෙමයි. උඩින් ඒක අතාරිද්දී පුංචි ගිනි බෝලයක් බවට පත්වෙනවා. ඒත් වටේට පොඩි ආරක්ෂාවක් දාලා තියෙන නිසා ඇතුළේ තියෙන ඒවාට හානියක් වෙන්නෑ. (මතුරලා දාපු ආරක්ෂාවක් නෙවෙයි.) චන්ද්‍රිකාවලින් ඒ දිහා බලා ඉන්න විද්‍යාඥයන් උත්සාහ කරනවා. පෘථිවියට කිලෝමීටර් 10ක් විතර ළංවුණාම ඒක පොඩි පැරෂුට් එකක් හදාගෙන ගොඩබහිනවා. බිමට බැස්ස ගමන්, ඒ කැප්සියුල් එක තමන් ඉන්න තැන ගැන සංඥාවක් එවනවා. හදිසියේ සංඥාව හරියට ආවේ නැත්තං විද්‍යාඥයන්ට පොළොව පීරලා බඩු හොයන්න වෙනවා. එහෙම වුණොත් ඕස්ට්‍රේලියන් රටේ මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලාවි.
(සමහරවිට ඕස්ට්‍රේලියාවට ගොඩබහින්න තෝරගන්න තවත් හේතුවක් වෙන්න ඇත්තේ එහේ මිනිස්සු අහිංසක නිසා වෙන්න ඇති. ඔය කැප්සියුල් එක බිමට වැටුණම, ඒක හංගගෙන කීයකට හරි විකුණගන්න බලන්නැති මිනිස්සු ඉන්නවා කියල හිතන හින්දා වෙන්න ඇති.)