නිරූපණ ශිල්පිනියක, විශ්ව රූ රැජිනක ලෙසින් බොලිවුඩයට පැමිණි නිළියක වන ලාරා දත්තාට සිය රංගන ජීවිතයේ සංධිස්ථානයක් විය හැකි චරිතයකට දායක වීමට මෑතකදී අවස්ථාව හිමිව තිබේ.
ඒ, රන්ජිත් එම් තිවාරි අධ්‍යක්ෂණය කළ, ක්‍රියාදාම සහ ත්‍රිලර් ආකාරය ගන්නා ‘බෙල්බොටම්’ චිත්‍රපටය වෙනුවෙනි.
මෙහිදී ඇය පණපොවනුයේ භාරතයේ හිටපු අග්‍රාමාත්‍යවරිය වූ ඉන්දිරා ගාන්ධිගේ චරිතයටය.
මෙහි ම රහස් පරීක්ෂකයෙකු වශයෙන් ප්‍රධාන චරිතයට රංගයෙන් දායක වන ප්‍රකට නළුවකු වන අක්ෂේ කුමාර් විසින් සිනමාපටය පිළිබඳව ලාරාව දැනුම්වත් කර ඇත්තේ, ඉකුත් වසරේදී මුළු ඉන්දියාව ම හුදකලා කර තිබූ සමයේදීය.
ඉන්දිරා ගාන්ධිගේ චරිතය වෙනුවෙන් ඇය සූදානම් විය යුතුව ඇතැයි ඔහු පවසන විට, ලාරා පළමුව සිතා ඇත්තේ, ඔහු විහිලුවක් කරන බවයි.
එය ප්‍රතික්ෂේප කරන්නට යෙදුණ ද, පසුව ඔහු විසින් චරිතය පිළිබඳව විස්තර කර, ඒ වෙනුවෙන් කළ යුතු වැඩකොටස සඳහන් කිරීමෙන් පසු, තමා තුළ උද්යෝගයක් ඇති වූ බව ලාරා දත්තා (අවුට්ලුක් ඉන්දියා වෙබ්අඩවිය වෙනුවෙන් එෂිතා භර්ගවා සමඟ පැවති) සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවාය.
ලාරා දත්තාගේ පියා ඉන්දිරා ගාන්ධිගේ ගුවන් යානා නියමුවා වශයෙන් සේවය කළ අයෙකි. එබැවින්, ඇය පිළිබඳව කුඩා කාලයේ පටන් පියා පවසන කතා ඇසීමට ලැබූ බවද, ඇය මිනිසුන් සමඟ කටයුතු කළ ආකාරය ගැන අවබෝධයක් ලැබීමට එය අනියමාකාරයෙන් සහයක් වූ බවද ඈ කියාසිටියාය.
ඉන්දිරා ගාන්ධිගේ මුහුණේ ඉරියව්, අත්පා චලන, හඬ උච්චාරණ, වස්ත්රාභරණ ආදිය පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට අධ්‍යක්ෂකවරයා විසින් එවන ලද වීඩියෝ පට ගණනක් නිරීක්ෂණය කළ බව කී ඈ මේ චරිතය වෙනුවෙන් පූර්ණ ස්තූතිය යායුත්තේ, චිත්‍රපටයේ වේශ නිරූපණ ශිල්පීන් ඇතුළු සමස්ත කණ්ඩායමට බව නිර්ලෝභීව පැවසුවාය.
සම්මානනීය වේශ නිරූපණ ශිල්පියෙකු වූ වික්‍රම් ගයික්වාද් ඇතුළු පිරිසක් විසින්, ලාරා දත්තාව ඉන්දිරා ගාන්ධි බවට පත්කරනු ලැබ තිබේ.
ඇගේ හිස කෙස්, මුහුණේ පිහිටීම් ඇතුළු නිරූපණයට අවැසි වේශය ඔහු විසින් ලබා දී ඇති අතර, බොරු නාසයක් ද ඒ සඳහා යොදාගෙන ඇති බව වීඩියෝපටවල දැක්වේ.
පළමු වේශ නිරූපණය අත්හදා බැලූ ජූනි මාසයේදී තමාට තමාව හඳුනාගත නොහැකි වූ බව ලාරා පිළිගත්තාය.
ඇගේ සැමියා පවා පෙනුමෙන්, කැළඹී ගිය විස්මයක් පෙන්නුම් කළ බව කී ඈ දියණිය කී දෑ මගින් ද එවැනි දෑ හැඟුණු බව කියාසිටියාය.
රූගතකිරීම් පැවති සෑම දිනයක දී ම, පැය තුනක කාලයක් වේශ නිරූපණය සඳහා ඇය යොමුවී තිබිණි.
ඇය ඉන්දිරාට පණ පොවන ආකාරය සහිත කෙටි වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයා සමඟ බෙදාගත් අක්ෂේ කුමාර් ඇගේ රංගනයට ප්‍රශංසාව පළ කළේය.
ඇය බොලිවුඩ් සිනමාවට පිවිසියේ ද, ඔහු සමඟ රංගනයෙන් දායක වූ, අන්දාස් (2003) චිත්‍රපටයෙනි.
දශක කිහිපයකට පෙර විසූ සැබෑ, ප්‍රකට චරිතයකට පණ පෙවීමෙන් එම තැනැත්තිය ජීවමාන කරවීම ජීවිතයට ම ලැබෙන අවස්ථාවක් මෙන් ම විශාල වගකීමක් බව ද ඈ කියා සිටියාය.
සිනමා ආගමනයේදී චිත්‍රපට බහුතරයක් සඳහා ඇය දායක වූයේ, දඟකාර පෙම්වතියගේ චරිතයට වන බැවින්, මෙම චරිතය ඇගේ රංගන ජීවිතයේ වැදගත් සලකුණක් වනු ඇති බවට විචාරකයෝ පෙරනිමිති පළකරති.
‘බෙල්බොටම්’ චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය මීට සතියකට පමණ ඉහත දී මාධ්‍ය හරහා ප්‍රචාරය වූ අතර, චිත්‍රපටය අගෝස්තු 19 වන දින සිනමාශාලාවල තිරගත වනු ඇත.
– ඩිල්ශානි චතුරිකා දාබරේ –