25 C
Colombo
Thursday, January 9, 2025

අදටත් හමු නොවූ ලසන්ත ඝාතකයෝ

- Advertisement -

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා  ඝාතනය කර අදට වසර 16ක් ගත වී තිබෙනවා.

සිය සේවා ස්ථානය වූ, සන්ඩේ ලීඩර් ආයතනයට යමින් සිටියදී අත්තිඩිය පාරේදී ආයුද සන්නද්ධ මැරයින් විසින් ලසන්තව මරා දැමුණේ 2009 වසරේ ජනවාරි 8 වෙනි දා උදෑසනකයි.

සූක්ෂම ලෙස තොරතුරු හඹා යෑමට සමත්වූ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් මෙන්ම සිය පුවත්පතේ සටහන් මඟින් විකල්ප මතයක් සමාජය තුළ ගොඩනඟන්නට උත්සාහ දැරූ මාධ්‍යවේදියෙක් වූ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය, මෙරට ඉතිහාසයට එක් වූ කළු පැල්ලමකි.

ලසන්ත ඝාතන සිදුවීම මතින් විවිධ ආණ්ඩු බලයට පත් වුණත්, වසරක් පාසා සිදුකෙරෙන අනුස්මරණ  සැමරුම් හැරෙන්නට ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ සැබෑ අවශ්‍යතාවයක් ඒ කිසිදු ආණ්ඩුවක් විසින් පෙන්නුම් කර නැහැ.

ලසන්තගේ ඝාතනය පිළිබඳව සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ නඩු විභාග මේ වන විට අවසන්ව පැවතුණත්, එම ඝාතනයට නියෝග දුන් අය මෙන්ම ඝාතකයින් තවමත් නිදැල්ලේ පසුවෙන්නේ එම පරීක්ෂණ නොමඟ යැවීමේ අරමුණෙන් තවත් කිහිප දෙනෙකුම ඝාතනයට ලක්ව ඇති පසුබිමකයි.

ජීවිතය අනතුරට ලක් කළ අනාවරණයන්

2008 වසර වන විට ලීඩර් පබ්ලිකේෂන් ආයතනයේ පුවත්පත් දෙකක් මුද්‍රණය වූ අතර ඉන් එකක් ඉරුදින පුවත්පතයි. අනෙක් පුවත්පත වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතයි.

1994 වසරේ ආරම්භ කළ සන්ඩේ ලීඩර් පුවත්පතේ මුල් කතුවරයා වූ ලසන්ත වික්‍රමතුංග ඒ වන විට ඔහු සිය පුවත්පත මගින් ආණ්ඩුවේ වංචා දූෂණ සම්බන්ධයෙන් හෙළිකරමින් සිටියා.

2005 වසරේදී  ‘හෙල්පින් හම්බන්තොට’ නම් වූ සුනාමි අරමුදල සම්බන්ධයෙන් සිදුවූ වංචාව පිළිබඳවද එවකට සන්ඩේ ලීඩර් පුවත්පතේ වාර්තා පළවී තිබුණා.

අනතුරුව 2007 වසරේදී  මිග් ගුවන් යානා ගනුදෙනුව පිළිබඳව සන්ඩේ ලීඩර් පුවත්පත මඟින් අනාවරණයක් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා කිරීම සිදු කළා.

එවැනි පසුබිමක, ලීඩර් පබ්ලිකේෂන්හි මුද්‍රණාලය 2007 නොවැම්බර් 21 වැනිදා  ගිනි තබා විනාශ කරනු ලැබුවා.

මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් 2008 වසරේ නොවැම්බර් මාසයේදී සිදු කළ අනාවරණයකින් පසු තමාට අපහාස වන සිදුවීම් ගැන ලිපි පල නොකරන ලෙසට ගෝඨාභය රාජපක්ෂ ගල්කිස්ස දිසා අධිකරණයෙන් ලීඩර් පුවත්පතට එරෙහිව වාරණ නියෝගයක්ද ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට අනුව 2008 දෙසැම්බර් 05 වැනිදා ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ද සිල්වා සන්ඩේ ලීඩර් පුවත්පතට වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

මෙම සිදුවීම් අතරතුර 2009 ජනවාරි මාසයේ 06 වැනිදා සිරස රූපවාහිනියට ප්‍රහාරයක් එල්ල වූ අතර ලසන්ත වික්‍රමතුංග එම ස්ථානයට ගොස් පහත ආකාරයේ අදහස් දැක්වීමක්ද සිදු කළා.

“ත්‍රස්ත ක්‍රියාවලට මේ මැර ක්‍රියාවලට එරෙහිව නැගී සිටිය යුතුයි. මේ පළවෙනි වතාවත් නෙමෙයි මේ වගේ සිද්ධියක් වෙලා තියෙන. මේ අවසන් වතාවත් අනිවාර්යෙන්ම නොවෙන්න පුළුවන්. ඒ වුණත් අපි අවධානයෙන් මේ තත්ත්වයට මුහුණ දීමට සූදානම්. මාධ්‍ය ආයතන සියලු දෙනාම එකතු වී, සියලු දෙනාම මෙයට මුහුණ දීමට සූදානම් විය යුතු බව පැහැදිලිව කිව යුතුයි.”

ඊට දින දෙකකට පසුව එනම් ජනවාරි 08 වෙනි දින,  ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක් වුණා.

ඒ වන විට, ඔහු තවත් දින කිහිපයකින් ගෝඨාභය රාජපක්ෂ විසින් පැවරූ අපහාස නඩුවේ වාරණයට එරෙහිව මිග් ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් තමා සතුව තිබූ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටි බවද ඇතැම් පුවත් වාර්තාවල පළවී තිබුණා. ((2024 ජනවාරි 12 වෙනි දින  Media.lk හි පළ වූ “මිග් ඩීල් වහගන්න ලසන්ත සහ තවත් අය බිලිගත් හැටි” යන ලිපිය ඇසුරෙනි)

තවමත් ඝාතකයින් නම් නොකළ ලසන්ත ඝාතන පරීක්ෂණයේ පසුබිම

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතකයින් සමඟ දිගින් දිගටම දුරකතන අංක 5ක් සංසරණය වූ බව මුල් විමර්ශන කණ්ඩායම සොයා ගෙන තිබුණා.

ඒ අනුව, 2010 පෙබරවාරි 26 දින ඝාතනයට පැමිණි කල්ලිය භාවිත කළ බව සැකකෙරෙන ජංගම දුරකථන අංක, නුවරඑලිය ප්‍රදේශය පදිංචි පී ජේසුදාසන් නැමැත්තෙකුගේ හැඳුනුම් පත යොදාගෙන මිලදී ගෙන තිබූ බව පවසමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය ජේසුදාසන් අත්අඩංගුවට ගනු ලැබුවා.

2010 පෙබරවාරි 26 දින එදිනම කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයකුද පී ජේසුදාසන් හා සම්බන්ධතා පැවැත්වූ බවට සැකකරමින් පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය අත්අඩංගුවට ගෙන තිබුණා.

2010 මාර්තු දින  හමුදා බුද්ධි අංශ සාමාජිකයන් 17 දෙනෙකු ත්‍රස්ත විමර්ශන අංශය මගින් ප්‍රශ්න කිරීමට ලක් කළේය. ඔවුන්ගෙන් 7 දෙනෙකු රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර පසුව මුදා හැවුණා.

2011 ඔක්තෝබර් 13 දින අත්අඩංගුවේ පසුවූ සැකකරු පී ජේසුදාසන් හදිසියේ බන්ධනාගාරය තුළ මිය ගියේය. ස්වභාවික මරණයක් ලෙස හැඳින්වූ ඔහුගේ මරණය සැක සහිත බව ජේසුදාසන්ගේ පවුලේ සාමාජිකයෝ පැවසුවා.

2013 සැප්තැම්බර් 6 දින නිසි සාක්ෂි නොමැති නිසා කන්දෙගෙදර පියදාස නැමති යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා උසාවිය විසින් නිදහස් කරනු ලැබුණා. එම අත්අඩංගුවට ගැනීම මගින් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ අතර, එය පිළිගත් අධිකරණය, කන්දෙගෙදර පියදාසට රුපියල් 100,000 ක් ගෙවන ලෙස ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියෙකුට නියෝග කළා.

2014 ජනවාරි 8 දින “ජනාධිපතිතුමා (මහින්ද රාජපක්‍ෂ) මට තුන් සැරයක් කිව්වා, ජෙනරාල් ෆොන්සේකා තමයි ලසන්තව මැරුවේ කියල,” යනුවෙන් ලසන්ත වික්‍රමතුංගගේ පස් වන අනුස්මරණ ගුණ සමරුවේදී ලසන්තගේ වැඩිමහල් සොහොයුරු ලාල් වික්‍රමතුංග ප්‍රකාශ කර තිබුණා. හිටපු හමුදාපතිවරයා චෝදනාව ප්‍රතික්ෂේප කළා.

2015 ජනවාරි 10 දින බලයට පත්වන නව ආණ්ඩුව ලසන්ත ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන කොට්ටශයෙන් ඉවත්කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්නා.

2015 ජනවාරි 21 දින ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුකල ආකාරය මෙන්ම ඊට නියෝග දුන්නේ කවුද යන තොරතුරු සියල්ල අනාවරණය වී ඇති බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා

2015 අගෝස්තු 6 දින ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව පරීක්ෂණ නොපවත්වන්නේ ඝාතනයේ සැකකරුවන් වත්මන් ආණ්ඩුවේ සිටින නිසා දැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රශ්න කළා.

2016 පෙබරවාරි 17 දින ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනකුගේ හැඩරුව දැක්වෙන කටු රූ සිතුවම් දෙකක් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත් කරන කළ අතර ඔවුන් හඳුනාගැනීමට මහජන සහය ලබා දෙන ලෙස නිවේදනය කළා.

2016 සැප්තැම්බර් 27 දින ඝාතනයෙන් වසර හයකට පසු හටගත් දේශපාලන වෙනසකින් අනතුරුව වන දා නව මරණ පරීක්ෂණයට ඔහුගේ දේහය ගොඩගැනුණා.

2017 මාර්තු 20 දින ලසන්ත වික්‍රමතුංගගේ මරණයට හේතු වී ඇත්තේ වෙඩි තැබීමක් නොව විශේෂ අවියකින් හිසට හා මොළයට එල්ල කරන ලද පහර දීමක් බව දේහය ගොඩගෙන කළ මරණ පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළා.

2018 ජනවාරි 18 දින ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගැවසුණු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි අධිකරණයට දැන් වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයට අදාළව ඒ වන විට 950 දෙනෙකුගේ පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් 295 දෙනෙකු යුද්ධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් වන දා වාර්තා කළා.

මේ අතර, ගල්කිස්ස පොලිසියේ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි තිස්ස සුගතපාල මහතා ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ චෝදනා මත 2018 පෙබරවාරි 2 වන දා අත්අඩංගුවට පත්ව පසුව ඇප පිට නිදහස් වුණා.

සිය පියාගේ ඝාතනයට හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවයුතු යැයි චෝදනා කරමින් ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග 2019 අප්‍රේල් මාසයේදී අමරිකාවේ අධිකරණයක සිවිල් නඩුවක් ද ගොනු කළා.

පරීක්ෂණ නොමඟ යැවීම් සහ තවත් ඝාතන 

ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පැමිණි යතුරු පැදි අත්තිඩිය ඇළේ ඇති බවට එවකට පොලිස්පති ජයන්ත වික්‍රමරත්නට පෙත්සමක් ලැබුණු බවත් ඒ ගැන විමර්ශනය කරන ලෙසත් උසස් පොලිස් නිලධාරීන් උප පොලිස් පරීක්ෂක සුගතපාලට දැනුම් දී තිබුණා.

එම ඇළේ කිඹුලන් ඇති නිසා කිමිදුම්කරුවන් යෙදවීමට තීරණය කළ ඔහු එවැනි අය සොයා බැලූ අතර කිමිදුම්කරුවන් යොදා සෙවූවත් කිසිවක් හමු වී තිබුණේ නැහැ.

ඉන්පසු සෝදිසි මෙහෙයුම් යළි ආරම්භ කළ අතර, උප පොලිස් පරීක්ෂකට ලද දුරකතන ඇමතුමකින් පසු ‘අර අට්ටික්කා ගහ ළඟ බලන්ඩ’ යැයි ඔහු කිමිදුම්කරුවන්ට උපදෙස් දී තිබූ අතර එම උපදෙස් අනුව සොයා බලද්දී අට්ටික්කා ගහ ළඟ තිබූ යතුරු පැදි 02 සොයාගෙන තිබුණා.

ඒවායේ එන්ජින් අංක සහ චැසි අංක පරීක්ෂා කරද්දී පෙනීගොස් ඇත්තේ එය වවුනියාවේ පුද්ගලයකුට අයිති බවයි. වවුනියාවට ගොස් හිමිකරු හමුවූ විට කියා ඇත්තේ ඊට වසරකට පමණ පෙර එය වවුනියාවේ රත්තරන් බඩු කඩ හිමිකරුවකුට විකිණූ බවයි.

එම දෙවැනි ගැනුම්කරු ගැන සෙවූ විට තොරතුරු ලැබුණේ දෙවැනි ගැනුම්කරු අතුරුදන්ව ඇති බවයි. ඒ ගැන සොයන්නට එපා යැයි ඉහළින් උප පොලිස් පරීක්ෂකට උපදෙස් ලැබුණා. ඒඅනුව ඒ, යතුරු පැදි වවුනියාවේ එල්ටීටීඊ පුද්ගලයකුට අයිති බවට කතාවක් හෙතී තිබූ අතර වැඩි කලක් ගත වන්නට පෙර මෙය එල්ටීටීඊ ඝාතනයක් බවට ප්‍රචාරය වීමද සිදු වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විමර්ශන ආරම්භ කළ පසු යතුරු පැදියේ දෙවැනි හිමිකරු සොයා ගොස් තිබුණා. දෙවැනි හිමිකරු විෂ්ණු කුමාර් පූන්තෝට්ටම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු එල්ටීටීඊයට සම්බන්ධ පුද්ගලයකු නොවූ අතර, රත්තරන් බඩු කඩයක් කරගෙන ගිය පුද්ගලයෙක් බව අනාවරණය වී තිබුණා.

 2009 ජනවාරි 18දා ඔහු සහ මිතුරකු යතුරුපැදියෙන් යද්දී කොළ පාට ජීප් රියකින් පැමිණි පිරිසක් මේ දෙදෙනා සහ යතුරුපැදිය, ඊට පටවා ගත් බවට ඇසින් දුටු සාක්ෂි හමු වූ අතර ඊට පසු දින, එනම් ජනවාරි 19දා මේ දෙදෙනාගේ සිරුරු අනුරාධපුරය ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබුණා. ඔවුන් මරා දමා තිබුණේ හිසට වෙඩි තැබීමෙන්.

ඒ අනුව, එසේ නම් එය ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට යොදාගත් යතුරුපැදියක් නොව ලසන්ත ඝාතන පරීක්ෂණ වෙනතකට යොමුකිරීමට උපයෝගී කර ගත් යතුරුපැදියක් බව අනුමාන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පොලිස්පතිට ලැබුණු ඉහත කී පෙත්සම ගැන සොයා බැලුවා.

මෙම පෙත්සම 2009 ජනවාරි 26දා ලැබී තිබූ අතර යතුරුපැදිය සොයන ලෙස උපදෙස් දී තිබුණේ ජනවාරි 25දායි.

මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ අවසන් වුණේ ඒ අනුව එය ලසන්තගේ ඝාතන පරීක්ෂණය නොමඟ යැවීමට සිදු කළ තවත් අපරාධයක සුළමුළ අනාවරණය කරමින්. (2023 ජනවාරි 10 වෙනිදින TheTime.lk හි පළ වූ “සත්‍යය වැළලූ සම්පූර්ණ මිලිටරි නාටකය : ලසන්ත වික්‍රමතුංග” යන ලිපිය ඇසුරෙනි)

ලසන්ත ඝාතනය ගැන ජාත්‍යන්තර අධිකරණයක පැවති නඩු විභාගය

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මරාදැමීම පිළිබද නඩු විභාගය නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි “ The People’s Tribunal on the Murder of Journalists” (මාධ්‍යවේදීන්ගේ ඝාතන සඳහා වූ මහජන විනිශ්චය සභාව)  විසින් 2021 වසරේ වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කෙරුණා.

ලසන්ත වික්‍රමතුංග මරණයෙන් ගලවා ගැනීමට අසමත් වීමෙන් ආණ්ඩුව මරණයට වගකිව යුතු බවට මෙම නඩු විභාගයේදී අධි චෝදනා ගොනු කෙරුණා.

2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමත් සමඟ ජීවිත තර්ජන හේතුවෙන් දේශපාලන රැකවර පතා ස්විට්සර්ලන්තයට ගොස් සිටින පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ නිශාන්ත සිල්වා මහතා, ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන  අහිම්සා වික්‍රමතුංග මෙන්ම ලාංකීය මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මෙම අධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. 

මෙහිදී හේග් විනිශ්චය සභාව සිය තීන්දුවෙන් අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකා රජය ලසන්ත වික්‍රමතුංගගේ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කර ඇති බවයි.

ජීවත්වීමේ අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, දේශපාලන මතය මත පදනම්ව වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීමට ඇති අයිතිය රජය විසින් උල්ලංඝනය කර ඇතැයි විනිසුරු එඩුවාඩෝ බර්ටෝනි ප්‍රකාශ කර තිබුණා.

එම නඩුව සම්බන්ධව විනිසුරු මාර්ටිනා ෆෝටි අවධාරණය කර තිබුණේ ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකට මාධ්‍යවේදියෙකුට එල්ල වු නින්දිත ප්‍රහාරය පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාවේ ස්වාධීන අදහස් ඇති මාධ්‍යවේදීන් එදා මෙන්ම අදත් අදහස් ප්‍රකාශ කිරීමේ දී විශාල ගැටලුවලට මුහුණ දෙමින් සිටින බවයි.

යුක්තිය උදෙසා සටන

වසර 16ක් ගත වීමෙන් අනතුරුවත් ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට යුක්තිය ඉටු නොවීම පිළිබඳව මෙන්ම  එම ඝාතනයට යුක්තිය ඉල්ලා සිටිය යුත්තේ ඇයිද යන්න අප සමඟ සාකච්ඡාවකට එක්වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී දිල්රුක්ෂි හඳුන්නෙත්ති මහත්මියගෙන් අප විමසා සිටියා.

“ඇයි ඔහු වැදගත්වෙන්නේ, ඇයි අපි මිනිස්සුන්ගේ ජීවිතයට වටිනාකමක් නොදෙන්නේ, ගොඩක් කල් යුද්ධයක් තියෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි, මාධ්‍ය නිදහස අහිමි වීම, විරෝධය දැක්වීමට ඇති අයිතිය වගේම ඝාතන දැකීම සහ විඳගැනීම සමාන්‍යකරණය වෙනවා. ඒ වගේම ඝාතන සංස්කෘතිය අපේ ජීවිතයේ කොටසක් කරගන්නවා, ඒක භාරගන්නවා. ඇයි ඔහු වැදගත් වෙන්නේ, ඔහු තමයි මාධ්‍යවේදීන් වෙනුවෙන් වැඩියෙන්ම හඬ නැඟුවේ, පාරේ හිටගන්නේ නැතුව. අඩුවෙන් කතා කළානම් ඔහුගේ ජීවිතය රැකෙන්න තිබුණා, නමුත් අපේ ඇතුළේ ඉන්න ජීවියාට එහෙම ඉන්න බැහැ. ඔහු බලාපොරොත්තු වුණේ සියලු දෙනාටම ජීවත් විය හැකි පරිසරයක් හදාගන්න එක, ඔහුගේ වචනයෙන් කියනවානම් ‘Create a safe world’, කියන දේ. ඒ සුරක්ෂිත බව මේ රටේ ඇති කරන එක වෙනුවෙන් ඔහු කතා කළේ. ඔහුව ඒ වෙලාවේ මරන්නේ පණිවිඩ කරුවෙක් ඝාතනය කිරීමට් හැටියට, පණිවිඩ කරුවන් බොහෝ දෙනෙක් අපි ඝාතනය කරලා තියෙනවා. මේ රට දණ්ඩ මුක්තිය, කෲර අධිකාරීත්වය ඉහළින්ම තියෙන රටක්. ඒවා රටක් විදියට ලංකාව ගැන ප්‍රතිරූපය හදලා තියෙන්නේ කොහොමද?  ලසන්තට යුක්තිය ඉල්ලීම හරහා මේ ගැන වැදගත් සාකච්ඡාවක් මතු වෙනවා. ආසියාවේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණා කියලා පාරම්බාන රටක් හැටියට අපිට යුතුකමක් තියෙනවා මූලික දේවල් ටිකක් කරන්න.”

RECENT ARTICLES - SINHALA

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා. එහි...

පාස්කු ප්‍රහාරය ගැන සැකකරුවෙක් පාපොච්ඡාරණයක් කරලා

පාස්කුදා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු...

POPULAR ARTICLES

උන්ඩියල් සහ හවාලා මුදල් ගනුදෙනු ගැන දැනුම්දීමක්

රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් සැලකිල්ලට ගනු ලැබූ රෙගුලාසි හතතරකින් තුනක් සහ නියෝගයක් සලකා බැලීමෙන් පසු අනුමත කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද...

ලියාපදිංචි නොවූ ජංගම දුරථකන භාවිතයට තහනමක් ?

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී නොමැති ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ මෙරට තුළ භාවිතය ඉදිරියේදී තහනම් කරන බව එම කොමිෂන් සභාව පවසනවා. එහි...

පාස්කු ප්‍රහාරය ගැන සැකකරුවෙක් පාපොච්ඡාරණයක් කරලා

පාස්කුදා මෙරට කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයට ආධාර අනුබල දුන්නේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන සැකකරුවෙකු...