කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසරක කාලය අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ, කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවයට ඊයේ (12) පෙරවරුවේ එක්වෙමින්.
ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයට බවත් ඔවුන්ට එම වසර දෙක කරගසාගෙනයාමට භාරදී ජනතාව අනාගතය භාරගත යුතු බවත් රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය නොයුතු බවත් අග්‍රාමාත්‍යවරයා පවසනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,
“කොවිඩ් අවස්ථාවේ සියලු වැඩ නවත්වා ඉදිරියට යන්න බෑ. දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ ඒකයි. අපිට මේ රට ගැන විශාල බලාපොරොත්තුවක් තියෙනවා. නිකරුණේ ගෙවිලා ගිය වසර දෙකක කාලය ගැන ළතවෙලා වැඩක් නෑ. ඒක වැදගත් විපක්ෂයට විතරයි. ආණ්ඩුවට වැදගත් වෙන්නේ ඉදිරි වසර තුනයි. ඒ වසර තුන තීරණාත්මකයි.
අතීතය නෙවෙයි අනාගතයයි අපි භාරගන්න ඕනේ. ගෙවුණු අතීතය ආණ්ඩුවට ආපහු ගන්න බෑ. ඒක ආපහු අදින්න පුළුවන් වැඩ කළොත් විතරයි. අපි මුහුණ දී තියෙන තත්වය කටුකබව පිළිගන්න ඕනෑ. කොරෝනා වසංගතය අපිව ඇදලා දාලා තියෙන අගාධය මේ වරායට වඩා ගැඹුරුයි. ඒක හංගන්න ඕන නෑ.
සමහරු අහනවා, මේ වාගේ අමාරු කාලයක මේ වාගේ අමාරු වැඩක් ආරම්භ කරන්නේ ඇයි කියලා. අපේ රටේ තිබුණ ගොඩක් ආණ්ඩු දුෂ්කරතා ඉස්සරහ පස්සට ගිය ආණ්ඩු. එල්ටීටීඊ ත්‍රස්තවාදය පැතිරුණ නිසා උතුරු නැගෙනහිර මායිම කිට්ටුවකවත් සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න 77 ඉඳන් පත් වුණ ආණ්ඩු බය වුණා. ඔබට මතකයි. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයවත් හදන්න කැමැති වුණේ නෑ එදා. යුද්දෙ ඉවර කරන්න පුළුවන් කියලා හිතුවේ නෑ ඔහොම. නමුත් අපි යුද්ධය තියෙන අතරෙ ම තමයි අධිවේගී මාර්ගයේ වැඩ පටන් ගත්තේ, ගුවන්තොටුපොළේ වැඩ පටන් ගත්තේ.කොවිඩ් අර්බුධකාරී අවස්ථාවේ දී සියලු වැඩ නවත්තලා ඉදිරියට යන්න බෑ ඒ නිසයි, අපි එවැනි දැවැන්ත අභියෝග තියෙද්දීත් සංවර්ධනය ගැන හිතන්නේ. ඉදිරියට ගියේ.”