අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත්කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
2010 වසරේදී කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවෙන් රන්දිය උයන නිවාස සංකීර්ණයේ නිවාස 294ක් ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියා.
වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම නිවාස උගස් තැබීමට හෝ විකිණීමට කටයුතු නොකරන ලෙසට ඉල්ලීමක්ද සිදුකළා .
එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
වසර දහයකට වඩා කාලයක් කජිමාවත්තේ ජනතාව ජීවත් වී තිබෙන්නේ අපායක් වැනි ස්ථානයකයි. එහි ජීවත් වුනේ කොහොමද යන්නත් හිතාගත නොහැකියි. එවැනි පසුබිමක මෙම මහල් නිවාස කඩිනමින් ජනතාවට ලබාදීමට හැකි වීම පිළිබඳ සතුටුවනවා. මේ සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා විශාල උනන්දුවක් දැක්වූවා. ඔබට අද ලැබෙන මෙම නිවස ඔබේ වටිනාම දේපළ බවට පත්වෙනවා. එය ආරක්ෂාකාරීව භාවිත කිරීම ඔබ සතු වගකීමක් වෙනවා. පසුගිය වසර දහයක කාලය තුළ දුක් වින්ඳ ඔබ මෙම නිවාස උගස් තියන්න හෝ විකුණන්න එපා. තමන්ගේ ජීවිතය වගේ මෙම නිවාස රැකගන්න කියා මා ඉල්ලා සිටිනවා.
2022 වසරට වඩා සැහැල්ලුවෙන් හුස්ම ගන්න සමාජ වටපිටාවක් වසර දෙකක කාලයක් ඇතුළත ගොඩනැඟීමට අපට හැකි වුණා. ආහාර,ගෑස්, ඉන්ධන පෝලිම්වල දුක් වින්ඳ ජනතාව අද සාමාන්‍ය ලෙස ජීවත් වෙනවා . පෝලිම් යුගයේදී වැඩියෙන්ම දුක්විඳීමට සිදු වුණේ කොළඹ ජනතාවටයි. එයිනුත් මහල් නිවාසවල හා වතුවල ජීවත් වූ ජනතාව විශාල දුකක් වින්ඳා. ආර්ථිකය යහපත් කිරිම වෙනුවෙන් අප අනුගමනය කළ බදු ප්‍රතිපත්තිය නිසා ජීවන බර තවත් වැඩිවුණු බව අප පිළිගන්නවා. නමුත් එය ඔබ දරා ගත් නිසා අද වන විට ණය ගැනීමකින් හෝ මුදල් මුද්‍රණය කිරීමකින් තොරව රාජ්‍ය ආදායම් වැඩිකර ගැනීමට හැකි වී තිබෙනවා. ඒ නිසාම මේ වසරේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 10,000කින් ඉහළ දැමීමට අපට හැකි වුණා. රුපියල ද ශක්තිමත් වුණා.
එම දුක්විඳි ජනතාව වෙනුවෙන් සින්නක්කර ඉඩම් ඔප්පුවක්, සින්නක්කර නිවසක් ලබාදීම ඔවුන්ට කරන ස්තුති කිරීමක් ලෙස මා දකිනවා. ඉදිරියේදී නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ජනතාවට ලබා දෙනවා. මා අගමැතිවරයා ලෙස සිටියදී චීන රජයෙන් ලබාදුන් නිවාස 1996ද ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබාදීමට පියවර ගන්නවා. ඉඩම් අයිතිය හෝ නිවාස අයිතිය සින්නක්කරව ලබාදීම මීට පෙර සිදු වුණේ නැහැ. ඉදිරියේදී අධ්‍යාපන අයිතිය ,ඉඩම් අයිතිය ,නිවාස අයිතිය හා ව්‍යාපාර අයිතිය ජනතාවට ලබාදෙමින් ආර්ථිකය ජනතාව දෙසට පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා. එයින් රටේ ආර්ථිකයට ජනතාවගේ සෘජු දායකත්වයක් ලබා ගත හැකියි.