ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින ඉරාන ජාතිකයෙක්, පසුගිය ඔක්තොම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කරගනිමින් දියත් වන බව දැනුම්දුන් ප්‍රහාරයටද සම්බන්ධ වී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
නිව් යෝර්ක්හි ජීවත්වෙන ඉරාන සම්භවයක් ඇති ඇමරිකානු පුරවැසියකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ කුමන්ත්‍රණයකට බෘක්ලින් හි කාර්ලිස්ල් රිවේරා (49) සහ ස්ටැටන් අයිලන්ඩ් හි ජොනතන් ලෝඩ්හෝල්ට් (36) යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
51 හැවිරිදි ඉරාන ජාතිකයෙකු බව පැවසෙන ෆර්හාඩ් ශකේරිට එරෙහිව මෙලෙස ට්‍රම්ප් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳව චෝදනා ගොනු කර තිබෙනවා.
ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව සඳහන් කරන්නේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) උපදෙස් මත ශ්‍රී ලංකාවේ ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කරගනිමින් සමූහ වෙඩි තැබීමක් දියත් කිරීමට ඔහු සැලසුම් කර තිබූ බවයි.
ෆර්හාඩ් ශකේරි මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර ඔහු ඉරානයේ රැඳී සිටින බව ඇමරිකාව පවසනවා.
ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මැතිවරණයෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නියෝජිතයෙකුගේ මෙහෙයවීම මත ශකේරිට උපදෙස් ලැබී ඇති බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරණය පරාජය වනු ඇතැයි ඔවුන් විශ්වාස කර ඇති අතර ඉන් අනතුරුව ඔහු ඝාතනය කිරීම පහසුවේ යැයි ඝාතන කුමන්ත්‍රණකරුවන් විසින් උපකල්පනය කර තිබූ බවද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙනවා.
සරණාගතයෙකු ලෙස කුඩා කාලයේ දී ඇමරිකාවට පැමිණි ශකේරි 2008 වසරේදී සොරකමක් සිදු කිරීමේ වරදට වසර 14ක සිර දඬුවමක් කාලයකින් පසු යළි ඉරානයට පිටුවහල් කර ඇති බවද එම වාර්තාවල සඳහන්.
එමෙන්ම, ඇමරිකානු අධිකරණ දෙපාර්තුමේන්තුව නිකුත් කළ මෙම වාර්තාව ඔස්සේ ඉන්දීය මාධ්‍යපළ කළ පුවත්වල ශකේරි 2019 වසරේදී ශ්‍රී ලංකාවේදී හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කර අති බවද සඳහන් වෙනවා.
කෙසේවෙතත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් එල්ල වන චෝදන ඉරානය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරුන් ඝාතනය කිරීමට සැලසුම් කිරීම සම්බන්දයෙන් මින් පෙර මෙවැනිම චෝදනා එල්ල වූ බවත් ඒවා අසත්‍ය චෝදනා බවත් එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණා.
ඔහු තවදුරටත් අවධාරණය කර ඇත්තේ දිගින් දිගටම මෙවැනි චෝදනා එල්ල කිරීම එක්සත් ජනපදය සහ ඉරානය අතර ගැටුම්කාරී තත්වය වර්ධනය වීමට ඉඩ සලසන බවයි.