දින කිහිපයකට හෝ සංචරණ සීමා ඉවත්කිරීමට කටයුතු කළහොත් අප්‍රේල් මාසයේ උද්ගත වූ ආකාරයේ වසංගත තත්ත්වයක් නැවත ඇති විය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දී තිබෙනවා.
එබැවින් මේ වන විට ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසත් එය ඉවත් කිරීමෙන් කොවිඩ් 19 තත්ත්වය තීව්‍ර වී මරණ සංඛ්‍යාව පිළිගත නොහැකි ආකාරයෙන් ඉහළ යා හැකි බවත් වෛද්‍ය සංගමය පවසා ඇත.
රට තුළ තවමත් දිනකට නව රෝගීන් 2000 කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 50 ක් පමණ වාර්තා වන බවත් මෙම තත්ත්වය තවදුරටත් සංකීර්ණ කරමින් කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ද ප්‍රජාව තුළින් බහුලව හඳුනා ගෙන ඇති බවටත් අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ දැනට පවතින ප්‍රභේදයට වඩා එම ප්‍රභේදය සම්ප්‍රේෂණය වීමේ හැකියාව 50% කින් යුක්ත බවයි.
වර්තමානයේ ක්‍රියාත්මක සංචරණ සීමා පැනවීමේ පියවර දින කිහිපයකට හෝ මුදා හැරීමෙන් මිනිසුන් පාලනයකින් තොරව නිදහසේ සංචරණයට යොමු වීමෙන් නව වෛරස ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වී සම්ප්‍රේෂණය භයානක ලෙස ඉහළ යා හැකි බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.
එමඟින් වසංගතය පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ යා හැකි බවත්, සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම යටපත් කෙරෙන පරිමාවකින් රෝගීන් සහ මරණ ඉහළ යා හැකි බවත් වෛද්‍ය සංගමය අනතුරු අඟවා තිබෙනවා.

