පළාත් පාලන මැතිවරණය නොපවත්වන බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ජනතාවගේ මැතිවරණය සම්බන්ධයෙන් තිබු උනන්දුව අඩු වී ගිය බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
කොළොන්නාවේ ඊයේ (02) පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ මාර්තු 09 වනදා පළාත් පාලන මැතිවරණය පැවැත්වේ යැයි අනුමාන කර මැතිවරණ ක්‍රියාවලියේ සක්‍රීයව නියැලීමට තම පක්ෂය කටයුතු කළ බවයි.
පසුව මැතිවරණය කටයුතු කල් යාමෙන් අනතුරුව මැතිවරණ කොමිසම අප්‍රේල් 25 නැවත මැතිවරණය පවත්වන බවට පැවසීමත් සමඟ ජනතාව දේශපාලන ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බවද ඒ මහතා පවසනවා.
මේ හේතුවෙන් මාලිමාවේ සංවිධානය යාන්ත්‍රණය දරා ගැනීමට නොහැකි මට්ටමින් ජනතාවගෙන් ඉල්ලීම් පැමිණි බවයි ඔහු කියා සිටියේ.
කෙසේ නමුත් මැතිවරණය නොපැවැත්වෙන බවට සංඥාවක් ලැබී ඇති නිසා දැන් ජනතාවගේ එම උද්යෝගය පහළ බැස ඇති බවයි මන්ත්‍රීවරයා එම ජනහමුවේ දී වැඩිදුරටත් සඳහන් කළේ.