මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍රය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළේ කඹ ඇදීමක් හට ගෙන තිබීම හේතුවෙන් එම බලපත්‍රය නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නොහැකිවි තිබෙන බවට ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
ආණ්ඩුවේ එක් පාර්ශවයක් වාහන බලපත්‍රය ලබාගත යුතු බව පවසද්දී අනෙක් පාර්ශවය එය ලබා නොගත යුතු බව පැවසීමෙන් මෙම අර්බුදකාරී තත්වය මතුව ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසෙන බව සඳහන්.
ආණ්ඩුවේ එක් පාර්ශවයක් පවසන්නේ රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයක පවතින අවස්ථාවක මන්ත්‍රීවරුන් තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබා ගතහොත් එය ජනතාව තුළ පිළිකුලක් වර්ධනය වීමට හේතු සාධක වනු ඇති බවයි.
එය ආණ්ඩුවේ ඡන්ද පදනමටද බරපතළ තර්ජනයක් ඇතිවනු ඇති බවට ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා
කෙසේ වෙතත් ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් පවසන්නේ අවුරුදු ගාණකින් වාහන බලපත්‍රයක් ලබාගෙන නැති හෙයින් එය මේ මොහොතේදී ලබා ගැනීම සුදුසු බවයි.
මේ තත්ත්වය යටතේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍රය ලබාදීම සම්බන්ධයෙන් රජය මෙතෙක් අවසාන තීරණයක් ගෙන නැහැ.
තීරු බදු රහිත වාහන බලපත්‍රයක් ලබන මැතිවරණ වලට කලින් ලබා දෙන ලෙස ඉල්ලා ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා භාර දුන්නා.
එම ලිපිය කතානායකවරයා විසින් අනතුරුව ජනාධිපතිවරයාට භාරදෙනු ලැබුවා.
මේ අතර වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණ වලට ඉදිරිපත් නොවන බවට මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට දැනුම්දී තිබෙනවා.