තමාගේ පුත්‍රයාට පොලිස් නිළධාරීන් පහරදුන් බව පවසමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා අද (05) වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
ඒ අනුව අදාළ සිද්ධිය ගැන සාධාරණ විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
එසේම හෙට (07) දිනයේ තම පුත්‍රයා සහ පුත්‍රයාගේ බිරිඳ පොලිසියට ඉදිරිපත් කරන බවද පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියා.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් “සාපරාධී බලහත්කාරය පෑ” තංගල්ල හිටපු නගරාධිපති රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි සිල්වා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකියාවක් ලැබී නැහැ.
ඔවුන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්දැයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ ඔවුන් තවමත් සැඟවී සිටින බවයි.
කෙසේ වෙතත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කළා.