මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
අදාළ පක්ෂ ලේකම්වරුන් විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත එම නම් යොමුකිරීමෙන් අනතුරුව ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 4ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ එක් මන්ත්‍රී ධූරයක් මෙන්ම ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ එක් මන්ත්‍රී ධුරයක් සඳහා ද පුරප්පාඩු පවතිනවා.
සමගි ජන බලවේගයට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 05ක් හිමිවු අතර මේ වනවිටත් ඉන් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අද (20) පැවති මාධ්‍ය හමුවක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සදහන් කළේ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් කාන්තාවකට ලබා දෙන්නේ නම් ඒ සදහා තමන් සුදුසුකම් සපුරා ඇති බවයි.
මේ අතර පක්ෂයේ ඒකමතික තීරණයක් මත රවී කරුණානායක මහතාව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය පවසනවා.
සන්ධානගත පක්ෂ සහ තම පක්ෂය අතර ඇතිකරගත් අවබෝධතා ගිවිසුම ප්‍රකාරව එම පක්ෂයට හිමිවු ජාතික ලැයිස්තු ධුරයට කෙනෙකු පත් කිරීමට පවතින හැකියාව අනුව ක්‍රියාකිරීම වරදක් හෝ අත්තනෝමතික ක්‍රියාවක් නොවන බව ඇය පවසා සිටියා.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට රවී කරුණානායක මහතා පත්කිරීම පිළිබදව කරුණු පැහැදිලි කරමින් එම පක්ෂයේ ලේකම් ශර්මිලා පෙරේරා මහත්මිය මෙම අදහස් පළ කර තිබුණා.
ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය ට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වු අතර ඒ සම්බන්ධයෙන් වූ යෝජනාව මුස්ලීම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් වෙත යොමුකර ඇති බව සඳහන්.
ඒ අනුව අද දිනයේ දී ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සදහා නම ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.