සාගර, කළපු සහ රට අභ්‍යන්තරයෙහි ඇති ජලාශ ආදියෙහි පවතින මත්ස්‍ය සම්පත ස්වභාවික ධන උල්පත්වලින් ප්‍රධානම අංගයක්. රටක පුරවැසියන්ගේ පෝෂ්‍ය පදාර්ථ ලබා දෙනු ලබන ප්‍රධාන මුලාශ්‍රයක් වශයෙන් මත්ස්‍ය සම්පත ඉතා වැදගත් වන අතර, මත්ස්‍ය සම්පත් හා ගොඩනැගුණු කර්මාන්තයක් පුළුල්ව ව්‍යාප්තව තිබීම හා මෙම කර්මාන්තය තුළින් රටේ ජාතික ධනයට සුවිශාලව දායකත්වයක් උසුලනු ලබන තත්ත්වය නිසාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය තුළ ධීවර කර්මාන්තයට සුවිශේෂ වැදගත්කමක් හිමි වනවා. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ පාරිභෝජන රටාව තුළ සත්ව ප්‍රෝටීන් ප්‍රමාණයෙන් 5% ක් මත්ස්‍ය පාරිභෝජනය තුළින් ලැබීමත් නිසාම ධීවර අංශයට වඩා ප්‍රමුඛත්වයක් හිමිව තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ප්‍රධාන අංශයන් තුනක් යටතේ එය හදුනාගත හැකිය. එනම්,
01. කරදිය ධීවර කර්මාන්තය,
02. මිරිදිය ධීවර කර්මාන්තය
03. කළපු ධීවර කර්මාන්තය වශයෙනි.
ධීවර කටයුතුවලදී විශාල ධීවරයින් සංඛ්‍යාවකගේ සහභාගිත්වයක් මෙන්ම නිශ්චිතව වෙන් කරන ලද වෙරළ තීරයක් යොදා ගැනීම දක්නට ලැබෙනවා.සම්ප්‍රදායික ක්‍රම මඟින් මෙන්ම සුළු පරිමාණ වශයෙන් ධීවර කටයුතුවල යෙදෙන සහ වසර මුළුල්ලේ රැකියාවේ යෙදෙන පිරිස කළපු ධීවරයන් ලෙස හඳුනාගත හැකිය. මෙහිදී ඔරු කට්ටුදැල්, කළපු දැල් මගින් මසුන් ඇල්ලීම සිදු කරනු ලබනවා.
එහිදී සුළු පරිමාණ වශයෙන් සහ මහා පරිමාණ වශයෙන් ධීවර කටයුතුවල යෙදෙන ධීවරයින් තම මත්ස්‍ය නිෂ්පාදනයෙහි අතිරික්තය අතුරු නිෂ්පාදනයක් ලෙස කරවල නිෂ්පාදනයට යොදා ගැනීම සිදු කරනවා.
මත්ස්‍ය නිෂ්පාදනය කිසියම් කාල සීමාවකදී ඉතා ඉහළ අගයක් ගන්නා අතර ඇතැම් කාලවල එය වෙනස් වීමට ලක් වෙනවා. එමෙන්ම කරවල නිෂ්පාදනය කිරිමේ මුලික අරමුණින් ධීවර කටයුතුවල යෙදෙන පිරිස ශ්‍රී ලංකාව තුළ හඳුනා ගත හැකියි.
ශ්‍රී ලංකාවේ වෙරළ බඩ ප්‍රදේශ කිහිපයක කරවල නිෂ්පාදනය පැවතුනත් දේශීය ඉල්ලුමට සරිලන ප්‍රමාණයට දේශීය නිෂ්පාදනය හැඩගස්වා ගැනීමට නොහැකිවී ඇති අතර කරවල සහ උම්බලකඩ ආනයනය සඳහා විශාල ආනයන වියදමක් දැරීමට සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකවේ ධීවර කර්මාන්ත ව්‍යාප්ත ඇති ප්‍රදේශ අතරින් කරවල නිෂ්පාදනය සඳහා යොමුවී ඇති ප්‍රදේශ අඩු මට්ටමක පවතින බව දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාවේ කරවල කර්මාන්තය ව්‍යාප්තව ඇති ප්‍රදේශ අතරින් වඩාත් වැදගත් වන්නේ මීගමුව, මන්නාරම, පුත්තලම සහ කල්පිටිය යන ප්‍රදේශයන්.
මීගමුව ප්‍රදේශයේ බොහෝ ජනයාගේ ජීවනෝපාය වන්නේ කරවල කර්මාන්තයට මාලු ඇල්ලීමේ කටයුතුවල නිරත වීමයි. ධීවර කර්මාන්තය සහ ධීවර කාර්මිකයින්ගේ ජීවන තත්ත්වය පිළිබඳ අවධානය යොමු කර අධ්‍යයනය කර ඇතත් කරවල කර්මාන්තයේ නියැලෙන සේවකයින්ගේ ජීවන තත්ත්වය කෙරෙහි අවධානයක් යොමු කර ඇති අධ්‍යයනයන් ඉතා අඩු මට්ටමක පවතිනවා. එ නිසා කරවල කර්මාන්තයේ සේවකයින්ගේ ජීවන තත්ත්වය සහ ඔවුන් මුහුණ පාන ගැටළු මොනවාද යන්න හඳුනා ගැනිම වැදගත්.
මෙමඟින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනුයේ, කාන්තාවක් මෙම කරවල කර්මාන්තය තුළ කොතරම් මෙහෙවරක් කරනවාද යන්න පිළිබඳව සහ ඔවුන්ගේ සමාජ, ආර්ථික තත්ත්වය හඳුනා ගැනීමටයි.
මෙහිදී ප්‍රධාන ක්‍රමවේදය වුයේ ප්‍රාථමික දත්ත ලබා ගැනීමයි. ඒ සඳහා මීගමුව ප්‍රදේශයේ මාළු ලෙල්ලමේ කරවල වාඩිය තෝරා ගන්නා ලදී.
මීගමුවෙහි මුළු ජන සංඛ්‍යාවෙන් ස්ත්‍රී සහ පුරුෂ ජන සංඛ්‍යාව සමාන මට්ටමකින් සිටිනවා. මෙම ගමෙහි සියලුම පවුල්වල ප්‍රධාන රැකියාව ධීවර කර්මාන්තය වන අතර එයින් පවුල් 165 ක් පමණ ප්‍රධාන රැකියාව වශයෙන් කරවල කර්මාන්තය තුළ සේවා නියුක්තව සිටිනවා.
මීගමුව නගරයේ සිට පිටිපන පාරේ මීගමුව මංකුළිය පාලම පහු කරනවාත් සමගම කරවල වෙළදාමට තවත් ප්‍රසිද්ධ ස්ථානයක් වන්නේ මීගමුව කරවල වාඩියයි. උදෑසන 4.00 පමණ වන විට නොයෙකුත් මාළු රැගත් බෝට්ටු කිහිපයක් කරවල වාඩිය අසල ලගා වෙලා තිබුණු ආකාරය දැකගන්නට ලැබුණා.
මෙහිදී කරවල ව්‍යාපාරයේදී පුරුෂ පක්ෂයට වඩා නියැලෙන්නේ කාන්තාවන්. මීගමුව ප්‍රදේශයෙත් අපට හමුවුණ කරවල වාඩියේ තම ව්‍යාපාරයේ ප්‍රධානියා වන්නේද කාන්තාවක්. ඇය නමින් වයලට්.
ඇය වසර කිහිපයකට පෙර කරවල නිෂ්පාදනය සඳහා තමාගේම ශ්‍රමය යෙදවූවත් කරවල ව්‍යාපාරයේ දියුණුවත් සමඟම ඇයගේ කාර්යයන් සඳහා කුලී සේවකයන් හවුල් කර ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව, මෙම කාන්තාව යටතේ කරවල නිෂ්පාදනය කිරීමේ නියැලෙන කුලී සේවකයින් කිහිප දෙනෙක්ම අපට හමුවුණා.
වයලට් මහත්මිය ඇයගේ යටතේ කුලී වැඩ කරන සේවකයින් සමග කරවල නිෂ්පාදනය කරන අතරේ අපේ කතාවට එකතුවුණේ මෙහෙමයි,
“ අපේ වෙලදාමේ ලාබෙයි පාඩුයි දෙකම තියෙනවා. ඕනේම ව්‍යාපරයක ලාබේ පාඩු තියෙනවනේ. ඒත් අපි අපේ කරවල ව්‍යාපාරය දියුණු කරගෙන යනවා. පාන්දර 4 ට විතර අපි කරවල වාඩියට එනවා. කොහොමත් වැඩ ඉවරවෙනකොට රෑ 7 විතර වෙනවා. කරවල කපලා හෝදලා ලුණු දාලා, මාළු වලින් කපලා ගන්න ඉතුරු ඒවා පොහොර වලටත් යවලා තමයි අපි වැඩ ඉවර කරන්නේ. අපේ දවසම කාලය ගත කරන්නේ, මේ වෙලදාමත් එක්ක තමයි, මේ ඉන්නේ අපේ කුලියට වැඩ කරන අය.එයාලව දම්මලා තමයි අපි අපේ ව්‍යාපරය දියුණු කරගෙන යන්නේ.” (වයලට් )
අලුයම 4.00 ට තම රැකියාවට එන මෙම කාන්තාවන් කරවල නිෂ්පාදනය කිරිමේදී ධීවරයින්ගෙන් ලබාගන්නා මාලුන් පළමුවෙන්ම සෝදා එනම් තීරු ආකාරයට තීලි දැමීම කරනු ලබනවා. එසේ සකස් කරගත් මසුන් ලුණු සාන්ද්‍රණය සහිත ටැංකිවල දමා දිනක් අසුරා තබනවා.
තීරු ආකාරයට සකස් කළ මසුන් ටැංකිවල දමා තිබීම නිසා මාලුවලට පහසුවෙන් ලුණු උරා ගනු ලබනවා. එමෙන්ම කරවල සඳහා අවශ්‍ය අනෙකුත් අමුද්‍රව්‍ය වනුයේ ලුණු සහ ශ්‍රමයයි.
මීගමුවෙහි කරවල කර්මාන්තයේ යෙදී සිටින පවුල් වැඩි වශයෙන්ම කරවල නිෂ්පාදනය සඳහා පවුලේ ශ්‍රමය යොදවා ගන්නා අතර කුලී ශ්‍රමය යෙදව ගෙන කරවල නිප්පාදනය කරන පවුල් අපට දැකගන්නට ලැබුණා.
ඒ කතාබහත් සමගම වයලට් මහත්මියගේ දියණිය කරවල වාඩියේ මුදලාලි වශයෙන් කටයුතු කරන චම්පිකා අප සමඟ කතාබහට එක්වුණා.
“මගේ පුතා වැඩ කරන්නේ කම්පැණියක, මගේ මහත්තයත් එයාගේ රැකියාව කරනවා. මේ කරවල වෙළදාම කරන්නේ මගේ මහන්සියෙන්. ඉස්සර මමම තමයි උදේම වැඩට ඇවිල්ලා මෙයලා එක්ක එකතු වෙලා මාලු කපලා හෝදලා කරවල වේලලා ගන්නේ. ඒත් දැන් මගේ යටතේ වැඩ කරන්න කුලී සේවකයින් ඉන්නවා.එයාලා තමයි දැන් වැඩ ටික කරන්නේ. මම වැඩ ටික උදේට ඇවිත් පවරනවා. අවුරුදු 10ක් දුක් වින්දා.. ඒත් දැන් යම්කිසි නිදහසක් එක්ක මේ වෙලදාමේ දියුණුවක් තියෙනවා. කුලියට වැඩ කරන අය පවුල් පිටින් මෙහෙ නැවතිලා ඉන්නවා. සමහර අය තනි තනියෙන් නැවතිලා ඉන්නවා” (චම්පිකා – මීගමුව)
ඇයගේ කරවල ව්‍යාපාරය ආරම්භවූ කාල සීමාව තුළ මාලු මිලදී ගැනීම, කොටස් වශයෙන් කැපීම, වේලීම සහ අවසානයේ කරවල නිෂ්පාදනය කිරීම ආදී සෑම දෙයක්ම ඇය විසින් සිදු කර තිබුණද ව්‍යාපාරය ක්‍රමයෙන් දියුණු වීමත් සමඟ ඒ සඳහා කුලී පදනම මත සේවකයින් බඳවා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.
ඒ අනුව නව රැකියා අවස්ථාවන්ද නිර්මාණයවී තිබෙනවා. ඇය අප අතර යෙදූ කතාබහෙන් මෙම කාන්තාව ඇයගේ කරවල ව්‍යාපාරය දියුණු කර ගත් ආකාරය අපට මනාව වැටහුණා.
අපේ කතාබහ අතරතුර කරවල වේලමින් සිටි තවත් කාන්තාවක් කරවල වේලමින් අපිත් සමහ කතාබහට එකතු වුණා. ඇය නමින් සුරංගි.
“මම දැන් වැඩ කරන්නේ නැහැ. මගේ යටතේ කුලියට වැඩ කරන අය හතර දෙනෙක් ඉන්නවා. එයාලා තමයි දැන් මාලු ටික කපලා හෝදලා කරවල ටික වේලලා ගන්නේ. මම දැන් අවුරුදු 35ක් වෙනවා මේ රස්සාව කරලා. ඉස්සර මගේ පවුලේ අය හැමෝම එකතු වෙලයි කරවල නිෂ්පාදනය කරන්නේ. මෙහෙ ඉන්න අය මේ රස්සාව කරන්න එන්නේ නැහැ. පිටින් තමයි කුලී සේවකයින් ඇවිත් මෙහෙ නවාතැන් අරන් වැඩ කරන්නේ. දැන් දියුණු වෙලා කුලී සේවකයන් යටතේ තමයි වෙලදාම කරන්නේ. දවසට එයාලට කුලී සල්ලි 2000ක් ගෙවනවා. එහෙම තමයි එදිනෙදා අපේ වෙලදාම කරන්නේ.” (සුරංගී)
ඒ අනුව කුලී ශ්‍රමිකයින්ගේ දෛනික වැටුප රු 2000- 3000 අතර මට්ටමක පවතින බවද ඇය සඳහන් කළා.
කරවල නිෂ්පාදනය සඳහා මසුන් ලබාගන්නා ක්‍රම දෙකක් තිබෙනවා. එනම්, වෙනත් ධීවරයින්ගෙන් මාලු මිලට ගැනීම සහ තමන්ම මසුන් අල්ලා ගැනීමයි.
මීගමුව තුළ කරවල නිෂ්පාදනය සඳහා කාන්තාවන් වෙනත් ධීවරයින්ගෙන් මාලු මිලදී ගන්නා අතර යම් ප්‍රතිශත ප්‍රමාණයක පිරිසක් මාලු අල්ලා ගනු ලබනවා.
කරවල සඳහා තමන්ම මසුන් අල්ලා ගැනිමේදී ඉහළ පිරිවැයක් දැරීමට සිදුවී ඇත්තේ ඉන්ධන මිල ඉහළ යෑමත් සහ වැසි කාලවලදී වුවද මාලු ලබාගත්තත් කරවල වේලීමට තරම් සරිලන කාළගුණයක් නොමැති වුවද කරවල සඳහා දිනපතා ධීවරයින්ගෙන් මාලු ලබාගැනීම අනිවාර්ය නිසාය.
එමෙන්ම ලුණු විශාල ප්‍රමාණයක් කරවල නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අතර ලුණු ප්‍රවාහණය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවී තිබෙනවා. මසුන් අඩු දිනවලදී සහ වැසි කාලවලදී මසුන්ගේ මිල වැඩි මට්ටමක තීරණය වනවා.
නමුත් මෙම කාන්තාවන් අපට ප්‍රකාශ කළේ, වැසි කාලයේ වුවද ඔවුන් ණය වී හෝ එදිනෙදා කරවල නිෂ්පාදනයට අවශ්‍ය මාලු මිලදී ගන්නා බවයි.
කරවල නිපදවන්නන්හට කරවල වෙළඳපොළ පිළිබඳව එතරම් දැනුමක් නැත. කරවල වේලන්නන් නිතරම බලාපොරොත්තු වනුයේ කරවල නිෂ්පාදනයට වැයවන පිරිවැයට අමතරව තමන්ගේ ශ්‍රමයට ප්‍රමාණවත් මිලකි. මෙම තත්ත්වය යටතේ කරවල වෙළඳ පොළේ මිල කුමක් උවත් කාන්තාවන් තමන්ගේ නිෂ්පාදන සඳහා මිලක් සිතෙහි තබාගෙන කටයුතු කරනු ලබනවා.
එමෙන්ම මීගමුව කරවල සඳහා හොඳ ඉල්ලුමක් පවතින අතර මොවුන්ගේ කරවල වෙළදාම ඉතාමත් ලෙස දියුණුවට පත්වී තිබෙනවා.
එසේම කරවල කර්මාන්තයේ යෙදී සිටින ව්‍යාපාරික මට්ටමේ නිෂ්පාදකයන්ගේ තත්ත්වය අතරමැදි වෙළෙඳුන්ගේ ජීවන තත්ත්වය සාපේක්‍ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතින අතර අතරමැදි වෙළෙඳුන්ගේ සහ ව්‍යාපාරික නිෂ්පාදකයින්ගේ නිවාසවල තත්ත්වය ඉහළ මට්ටමක පවතින අතර එම නිවෙස්වල විදුලිය සහ ජල පහසුකම්ද පවතිනවා.
එමෙන්ම මීගමුවෙහි කරවල නිෂ්පාදනයේ සහ වෙළදාමේ යෙදී සිටින්නන්ගේ ආදායම් තත්වය සහ ජීවන තත්වය සාපේක්ෂ වශයෙන් ඉහළ මට්ටමක පවතිනවා.
එමෙන්ම මීගමුවේ කරවල වෙළදාමේ නිරත වන කාන්තාවන්ගේ දරුවන් අධ්‍යන කටයුතු මගකදී නතර කර පාසල් නොයන බවට නොයෙකුත් දේ අපට අසන්නට ලැබී තිබෙනවා.
එමෙන්ම පහසුවෙන්ම ධිවර රැකියාව නැතහොත් කරවල වෙළදාමට යාමට ඇති හැකියාව නිසා පිරිමි ළමුන් සාමන්‍ය පෙළ දක්වා හෝ බොහෝ විට අධ්‍යාපනය නොලබන අතර අඩු වයසේ විවාහ මෙම ප්‍රදේශයේ සිදුවන බව අප අසා තිබෙනවා.
නමුත් මෙහිදී අප කළ සොයාබැලීම්වලදි මෙම කාන්තාවන්ගේ දරුවන් කිසිදු අවස්ථාවකදි ඔවුන්ගේ රැකියාවට යොදවා ගන්නේ නැති බවත් ඒ දරුවන් ජනප්‍රිය පාසල්වල අධ්‍යාපනයේ යෙදී සිටින බවද අපට දැනගන්නට ලැබුණා.
තවද කරවල වෙළදාමේ නියැලෙන සියලුම කාන්තාවන් ඔවුන් අතර කණ්ඩායම් හැඟීම හා එකිනෙකාට උදව් කිරීම වැනි සිතුවිලි වර්ධනය වී තිබෙන අයුරු අපට දක්නට ලැබුණා.
කෙසේවුවද කරවල කර්මාන්තයේ නියැලෙන කාන්තාවන් තමන්ගේ දෛනික ජීවිතය මෙම කරවල වෙළදාමෙන් තමන්ගේ ශ්‍රමය යොදාගෙන හරි හරියට තමන්ගේ කරවල ව්‍යාපාරයේ නියැලෙන අයුරු මෙම සටහන් මගින් අපිට මනාව වැටහුණා.
සමාජයේ ස්ත්‍රී පුරුෂ බව සම්බන්ධන් පවතින ඒකාකෘතීන්ට අභියෝග කරමින් වෙනස් මඟක යන කාන්තාවන් පිරිසක් වශයෙන් පිරිමි පාර්ශවයක් සමඟ උරෙන් උර ගැටෙමින් ආර්ථික වශයෙන් ස්වාධීනත්වයක් ගොඩනඟා ගැනීමට මෙම කාන්තාවන් සමත්වී තිබෙනවා.