මියන්මාරයට බලපා ඇති ප්‍රභල භූකම්පනයෙන් පසු එරට රැඳි සිටින ශ්‍රී ලාංකිකයින්ට හෝ තායිලන්තයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේ දෙරටේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තවදුරටත් පසු විපරම් සිදුකරන බවයි.
එමෙන්ම හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812498011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය උපදෙස් ලබා දී තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මියන්මාරය තුළ ශ්‍රී ලාංකිකයින් 200ක් පමණ රැඳී සිටින අතර තායිලන්තයේ බැංකොක් නුවර තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැඳී සිටිනු ඇති බවයි.
මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් රික්ටර් මාපකයේ 7.7ක ප්‍රභල භූ කම්පනයක් ඇති වුණා.
එහි ප්‍රභලත්වය තායිලන්තයේ බැංකොක් නුවරට ද දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 6.4ක තවත් භූ කම්පනයක් සිදුව ඇති අතර පසු කම්පන තත්ත්වයක් ද වාර්තා වූ බව විදෙස් වාර්තා සඳහන් කළා.
භූ කම්පනයෙන් මියන්මාරයේ මෙන්ම බැංකොක් නුවර ගොඩනැගිලි කිහිපයක හානි සිදුව ඇති අතර බැංකොක් නුවර මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙන වීඩියෝවක් ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙම මහල් ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් වාර්තා තහවුරු කර ඇති අතර මෙහි පුද්ගලයින් 70කට අධික පිරිසක් සිරවී සිටින බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.
මීට අමතරව තවත් පුද්ගලයින් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළා.
භූ කම්පනයෙන් පසු මැන්ඩලේ ගුවන් තොටුපොළේ මගීන් සහ කාර්ය මණ්ඩලය ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
එහෙත් තායිලන්තයේ ස්වර්ණ භූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවද සඳහන් වනවා.
මේ අතර අසල්වැසි මියන්මාරයට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් පසු රට පුරා පාසල් වසා දැමීමට තායිලන්ත බලධාරීන් නියෝග කර තිබෙනවා.
බැංකොක් නුවර ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර එරට නියෝජ්‍ය අගමැති පවසා ඇත්තේ මෙවැනි සිදුවීමක් වසර 100කින් හෝ සිදු වී නොමැති බවයි.
භූ කම්පනයෙන් පසු තායිලන්තයේ මහල් ගොඩනැගිලි ඉතා ප්‍රවේශමෙන් පරීක්ෂා කරන බව නියෝජ්‍ය අගමැතිවරයා පවසා තිබෙනවා.
එරට මහජන සෞඛ්‍ය අමාත්‍යංශ සහ අධ්‍යාපන අමාතංශය සහන කටයුතු සම්බන්ධීකරණය කරන අතර ආරක්ෂක අමාත්‍යංශය විසින් අණ දෙන මධ්‍යස්ථානයක්ද පිහිටා ඇති බව සඳහන්.
මේ අතර භූ කම්පනය හේතුවෙන් මැන්ඩලේ රාජකීය මාලිගයේ කොටස්වලටද හානි සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.