ඩිල්ෂි, නිමාලි සහ ගයන්තිකා යන මීටර් 800 ක්‍රීඩිකාවන් තිදෙනාම ඔලිම්පික් සුදුසුකම් ලැබීම සඳහා විනාඩි 1යි තත්පර 59යි දශම 50 සීමාව පසු කිරීමේ බලාපොරොත්තුවෙන් සිටී.
ශ්‍රී ලංකාව ඉතිහාසය පුරා අතිදක්ෂ දුවන්නියන් බිහිකළ රටකි. මීටර් 200 වැනි ඉසව්වල අතිවිශිෂ්ඨ දස්කම් පෙන්වූ දමයන්ති දර්ශා, සුසන්තිකා ජයසිංහ, ශ්‍රියානි කුලවංශ, ජයමිනි ඉලේපෙරුම සහ තිලකා ජිනදාස එවැනි ක්‍රීඩිකාවන් ලංකාවෙන් බිහි විය. ශ්‍රියානි ධම්මිකා මැනිකේ මීටර් 800 සහ 1500 ඉසව්වල මද දුර දුවන්නියක් ලෙස ප්‍රකට විය. ඇය 1992 බාසිලෝනා ඔලිම්පික් උළෙලට සහභාගී වුණාය.
ඇත්තටම ශ්‍රී ලංකාව දිවීමේ මීටර් 200, 400, 800 ආදී ඉසව්වලට දක්ෂ ක්‍රීඩිකාවන් සහ ක්‍රීඩකයන් සිටින රටකි. එහෙත්, එම දක්ෂයන් සොයාගෙන දක්ෂතා ඔප්නංවා ජාත්‍යන්තරය දිනන්නට අවශ්‍ය පහසුකම් කිසිදා ලබා නොදීම ඔවුන්ට ඇති ගැටලුවයි. එසේ නොවුණානම් සුසන්තිකාලා ශ්‍රී ලංකාවට එදිනෙදා දෙයක් වනු ඇත.
ටෝකියෝවල පැවැත්වීමට නියමිත මීළඟ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවේ මීටර් 800 ක්‍රීඩිකාවන් වන ඩිල්ෂි කුමාරසිංහ, නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් තිදෙනාම සුදුසුකම් ලැබීමේ බලාපොරොත්තුවෙන් සිටී. මේ තිදෙනාම මෑත කාලයේ දේශීය සහ ජාත්‍යන්තර දක්ෂතා පෙන්වූ ක්‍රීඩිකාවන්ය.
2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ජයගත්තේ ඩිල්ෂ් කුමාරසිංහය. 2019 ජාතික ශූරතාව දිනාගත්තේ නිමාලි ලියනආරච්චිය. ගයන්තිකාද ඉතා හොඳ දිවීමක් පෙන්නුම් කළාය. මේ තිදෙනාම විනාඩි 2 ආසන්නයේ සිටී. ඔවුන් පසු කළ යුතු ඉලක්කය විනාඩි 1යි තප්පර 59කි. එනම් තත්පර ගණනකින් තමන්ගේ දිවීම දියුණු කරගැනීමට හැකි වුණොත් තිදෙනාටම ඔලිම්පික් සුදුසුකම් ලැබිය හැක.
මෙවැනි කරට කරට තරගයක් සහිත ක්‍රීඩිකාවන් තිදෙනෙක් එකට සිටියදී, ඒ තිදෙනා අතර තරගය නිසාම සුදුසුකම් ලැබීමට අවස්ථාව වැඩි වේ. ‘මේක පළවැනි අවස්ථාව, ආසියාවේ මීටර් 800 ඉහළම දස්කම් පෙන්නුම් කරන ක්‍රීඩාකවන් තුන්දෙනෙක්ම අපට ඉන්න. ඔවුන්ට සුදුසුකම් ලබන්න හොඳ අවස්ථාවක් තියෙනවා.’ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරියෙකු වන සමන් කුමාර ගුනවර්ධන එසේ කියා තිබුණි.
‘ඩිල්ෂිගේ හොඳම දස්කම් ඉදිරියේදී එන්න නියමිතයි. ඇය පුහුණුවීම්වලදී විනාඩි දෙකට දිව්වා. අනෙක් දෙන්නාත් අතිදක්ෂ නිසා, තරගකාරීත්වයෙන් ඇයට ඉලක්කයට ළඟාවීම අමාරු නෑ.’ 21 හැවිරිදි තරුණ ක්‍රීඩිකාවක් වන ඩිල්ෂිගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු එසේ කීය.
‘මට ඔලිම්පික් යන්නත්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දිනන්නත් අමාරු නෑ.’ ඩිල්ෂි විශ්වාසයෙන් එසේ කියන්නීය.
මීළඟ ආසියානු ක්‍රීඩා උළෙල 2022 දී පැවැත්වීමට නියමිතය. ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මේ බලාපොරොත්තුව ගැන වැඩිදුර කතා කරයි. ‘මීට පෙර අපි සාග් ගේම්ස් ගැන විතරයි හිතුවේ. ඒත් 2013 දී නිමාලි ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දින්නා. 2017 දී රන් පදක්කම දින්නා. ගයන්තිකා ආසියානු ගෘහස්ථ ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දින්නා. ඔවුන් ආසියානු ගෝන් ප්‍රී තරග දින්නා. ඩිල්ෂිගේ නැගී ඒම අපේ බලාපොරොත්තු අලුත් කරනවා. ඔලිම්පික් යනවා කියන්නේත දින්නා වගේ තමයි.’
එය සැබෑවකි. අපට එකවර ඔලිම්පික් පදක්කම් ජයගැනීම ගැන හීන දකින්නට බැරිය. මෑත ඉතිහාසයේ අපේ රටෙන් ඔලිම්පික් සුදුසුකම් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද බිහි වුණේ නැති තරම්ය. අප ඔලිම්පික්වල නිතර දිනන රටක් බවට පත්වෙන්නට පෙර, ඔලිම්පික්වලට නිතර සුදුසුකම් ලබන රටක් විය යුතුය.
මැජික් එකක් වාගේ එක්වරම ඔලිම්පික් පදක්කම් ගන්නට බැරිය. පඩිපෙලක් වාගේ අඩියෙන් අඩිය ඒ ගමන යා යුතුය. අත්දැකීම් සහිත නිමාලි, ගයන්තිකා සහ නැගී එන ඩිල්ෂි යන තිදෙනාට ඇත්තේ ඒ පඩිපෙලේ වැදගත් පියවරක් තැබීමේ වගකීමය. පරිපාලකයන්ට ඇත්තේ ඔවුන්ට උපරිම සහයෝගය දීමේ වගකීමය. මේ ක්‍රීඩිකාවන්ට උපරිම සහයෝගය දිය යුත්තේ ඒ අනාගත බලාපොරොත්තුව ඇතිවය.
(සන්ඩේ ටයිම්ස් පුවත්පතේ ලිපියක් ඇසුරෙනි.)