2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ‘W15’ හෝටලයට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවන් ලෙස නම් කරන ලද කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා හෙට දිනයේ මෝසමක් මඟින් අධිකරණයට භාර වීමට නියමිතව තිබෙනවා.
ඊයේ (19) දින අධිකරණයට භාරවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (20) සලකා බැලුණු අතර එහිදී පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව දැනුම් දුන්නා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අභියාචනාධිකරණයේදී ඇතිකර ගත් එකඟතාව මත මූලික විමර්ශන අවසන් වනතෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු සැකකරුවන් 06දෙනා අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බවයි.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් දී ඇති බවද එම නිවේදනයේ සඳහන් වුණා.