ලිංගික අධ්‍යාපනය ලබාදීමට අදාළව සකස් කරන ලද “හතේ අපේ පොත” නැවත සිසුන් අතට පත්කළ යුතු බවත්, ලිංගික දැනුම හා ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධ පොත් සකස් කරන ලෙසත්, ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.
ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය පසුගියදා රැස්වූ අවස්ථාවේදී එළැඹී ඇති තීරණයකට අනුව මෙම දැනුම්දීම කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අදාළ කමිටුව තීරණය කර ඇත්තේ සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ළමයින් සම්බන්ධ විවිධ ආයතන නියේජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් විසින් මෙය කළ යුතු බවයි.
එම කමිටුව මාස තුනක් ඇතුළත අදාල කාර්යය අවසන් කළ යුතුයැයිද ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දී තිබෙනවා.
නව යොවුන් වියට එළඹෙන දරුවන්ට ඔවුන්ගේ මනසට ගැලපෙන පරිදි ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අධ්‍යාපනය ලබාදීම අත්‍යාවශ්‍ය බැවින් මෙලෙස පෙළ පොත් සකස්කිරීම අත්‍යාවශ්‍ය බවද ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදය පවසනවා.
පෙළපොත් මුද්‍රණය සඳහා මෙම අවස්ථාවේ මුදල් වැය කිරීම අපහසු හෙයින් පළමු අදියරේදී පෙළ පොත් මුද්‍රණය නොකළද අන්තර්ජාලය හරහා සිසුන්ට අදාළ පොත පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි සංසදය පවසන්නේ.
විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් කාන්තාවන්ට ලබා දෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබදව අවබෝධය ලබා දිය යුතු බවටත් මෙහිදී යෝජනා කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න පවසන්නේ ළමා අපයෝජනවලට මූලිකම හේතුව ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් සමාජයේ ඉතාම අවම දැනුමක් පැවතීම බවයි.
මෙම පොත 2019 වසරේදී දරුවන්ට ලබාදීමත් සමඟ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් එවක චෝදනා කළේ හතේ අපේ පොත මගින් ළමා මනස දූෂණය වන බවයි.
පසුව හතේ අපේ පොත පාසල් සිසුන්ට ලබා නොදෙන ලෙසට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සියළුම විදුහල්පතිවරුන්ට සහ පෙළ පොත් බෙදා හැරීමේ මධ්‍යස්ථානාධිපතිවරුන්ට දැනුම්දී තිබුණා.
ඒවන විටත් එම පොත සිසුන් අතට පත්වී ඇත්නම් නැවත එය ලබා ගැනීමට කටයුතු කරන ලෙසට එවක අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්. ජයන්ත වික්‍රමනායක මහතා නියෝග කර තිබීමද විශේෂත්වයක්.