යුද්ධයෙන් පසු ඇති වූ ආර්ථික වර්ධනය පුස්සක් බව ඇස් පනා පිට දකින්නට ඇති බව ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා.
එය විශාල ණය කන්දක් විසින් මෙහෙයවන ලද ආර්ථික වර්ධනයක් බවයි ආචාර්ය දුනුසිංහ මහතා පෙන්වා දෙන්නේ.
ඒ, ඊයේ (11) රූපවාහිනී සජීවී වැඩසටහනකට එක්වෙමින්.
“ඊලඟ කාල සීමාව තුළ දී අපිට එහෙම ක්ෂණිකව ආර්ථික සහන ලබා දෙන්න හෝ එහෙම නැත්තන්ම් ආර්ථිකය යහපත් තත්ත්වයට පත්වේවි යැයි කියලා හිතන්න තියන කරුණු කාරණා ඉතාමත් අඩුයි. දෙවැනි කාරණාව තමයි දැන් ඉන්දියාවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යනවා 1991. ඉතාමත්ම බරපතල විදිහට ගෙවුම් ශේෂ අරබුදයකට අදාලව පැන නැගිලා. හැබැයි ඉන්දියාව ඊට පස්සේ මොකද කරන්නේ, අදාල ආර්ථික ප්‍රතිසංස්කරණයන් හා ඒ කටයුතු නිසි ආකාරව කරනවා. ඒක හින්දා මේක මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ නෙවෙයි වරද තියෙන්නේ.
වරද තියෙන්නේ අපි අදාලව නිවැරදි තීන්දු තීරණ අරගෙන ආර්ථිකය මෙහෙයවන්නේ නැති එකේ තමයි දෝෂය තියෙන්නේ. දේශපාලනික යාන්ත්‍රණය කල්පනා කරනවා ණය අරගෙන පාරවල්වලට කොන්ක්‍රීට් දාලා, ණය අරගෙන තව මොනව හරි බෙදලා ඉවර වෙලා ඡන්ද ලබා ගැනීම තුළ ආර්ථිකය පවත්වා ගෙන යා හැකි කියලා. නමුත් අද වන විට ඇස් පනා පිට පෙනිලා තියනවා, උදාහරණයක් විදිහට යුද්දෙන් පස්සේ ඇති වුණු ආර්ථික වර්ධනය පුස්සක් කියලා ඇස් පනා පිට පේනවා. ඒ විශාල ණය කන්ද විසින් මෙහෙයවපු ඒ විශාල ආර්ථික වර්ධනය, ඒ ආකාරයට ආර්ථිකය වර්ධනය කරන්න ගිය එකේ ප්‍රතිඵලය තමයි අද මේ විදිහට ජනතාව විශාල විදිහට දුක් විඳින තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. විශාල ණය කන්දකට අරගෙන ගිහිල්ලා.
මේ නිසා අවම වශයෙන් දැන්වත් රජය තුළ අපි බලාපොරොත්තු වෙනවා වෘත්තීමයභාවයකින් යුතුව රාජ්‍ය මූල්‍යවලට අදාලව හැසිරීමක්. අවම වශයෙන් අපිට අවශ්‍යනම් ඊලඟ දශක දෙක තුළ මේ හා සමාන අර්බුද හැම අවුරුදු 4කට 5කට ම සැරයක් එන එක වලක්වා ගන්න ඕන නම්. මොකද ජාත්‍යන්තර අත්දැකීම නම් ණය ප්‍රතිව්‍යූහගත කරන තැනකට රටක් පත් වුණාට පස්සේ ඒ මත ගනු ලබන තීන්දු තීරණ නිසා අපි නැවත නැවතත් ඒ දෙසට ගමන් කරනවා.
දැන් බලන්න මේ මාසේ දැන් මේ අවුරුද්දෙම අපි ණය කොච්චර අරන් තියනව ද ඉන්දියාවෙන්, අපි කෙටි කාලීනව චීනෙන් කොච්චර ණය අරන් තියනව ද, බිලියන 5ක් විතරනේ ඔක්කොම. එතකොට මේක ගෙවන්න එපැයි තව අවුරුදු 1 1\2 කින් 2 කින්. කොහොම ද ගෙවන්නේ? අපි ආයිත් ඒක ගෙවන්න යද්දි ආයිත් හිර වෙනවනේ.
ඒක හින්දා රටවල් 95ක් 910 වතාවක් ණය ප්‍රතිව්‍යුහගත කිරීම්වලට යොමු වෙලා තියනවා. මේක හරියට ස්වාභාවිකව තියන ඩෑම් එකක් වගේ. ඒක කඩා ගෙන ගියාට පස්සේ ආයිත් බැන්දට ශක්තිමත් නැහැ. ඒක හින්දා මේ ආර්ථිකය තුළ තවදුරටත් අපි මේ ඡන්ද බලාගෙන play කරන්න game ගහන්න ගියොත් මම හිතන්නේ ඒ තුළ රටේ ඉදිරි පරම්පරාවල අනාගතේ විශාල අඳුරකට අරගෙන යනවා. ඒකෙනුත් බහුතරයක් මම හිතන්නේ රටින් පැනලා යයි. ඉතුරු අසරණ මිනිස්සු තමයි මේකෙන් පීඩාවට පත්වෙන්නේ. මම හිතන්නේ ඒක තමයි මේ වෙද්දි තියන විශාලම අභියෝගය.”