සිරදඬුවම් ලබා සිටින, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සිරකරුවන්ගේ ජාතික දිනය දා ජනපති සමාව හිමි වෙතැයි අපේක්ෂා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
සිරකරුවන්ගේ ජාතික දිනය සැප්තැම්බර් 12 වැනිදාට යෙදී ඇති අතර එදිනට ජනතාවාදී කලාකරුවකු මෙන්ම,ජනහිතකාමී දේශපාලනඥයකුද වන රන්ජන් රාමනායක මහතාට නිදහස හිමිවෙතැයි අපේක්ෂා කරන බවයි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පවසන්නේ.
මේ අතර, රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දෙන්නැයි ඉල්ලමින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.
ඔහු රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද බොහෝ දෙනෙක් නොකරන ලෙසට, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කළ පුද්ගලයෙකු බවයි හිටපු ජනාධිපතිනිය සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.
එම ලිපිය පහතින්,
2021.09.06
අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ශ්‍රී ලංකා ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ 01.
අතිගරු ජනාධිපතිතුමනි,
රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකුද වන රංජන් රාමනායක මහතා 2021.01.12 දින සිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවමකට ලක්ව සිටී.
රංගන ශිල්පියෙකු, සමාජ සේවකයෙකු මෙන්ම දේශපාලඥයෙකු ලෙසද ඔහු බොහෝ දෙනෙක් නොකරන ලෙස, මෙරට පොදු ජනතාව වෙනුවෙන් අවංකව කැපවී කටයුතු කරමින්, සිය පෞද්ගලික ධනය පවා අහිංසක අයගේ සුභසිද්ධිය වෙනුවෙන් වැය කරන පුද්ගලයෙකි.
බරපතල වැරදි නිසා අධිකරණයෙන් සිරදඬුවම් ලබාදුන් කිහිප දෙනෙකු කෙරෙහි අනුකම්පාවෙන් ඔබ රජයෙන් නිදහස ලබාදුන් නිසා, එතරම් බරපතල නොවන චෝදනාවකට රංජන්ට මෙලෙස දුක් විඳීමට සිදුවීම අවාසනාවන්ත කරුණක් බව ඔබතුමාද පිළිගන්නා බව මම විශ්වාස කරමි.
මේ වනවිට මාස 08කට ආසන්න කාලයක් සිරගතව පීඩා විඳින රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට කාරුණික වන මෙන් හිටපු රාජ්‍ය නායකයෙකු සහ මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස මම ඉතා ඕනෑකමින් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි,
මෙයට,
විශ්වාසී වූ,
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග
හිටපු ජනාධිපතිනි.
