රුසියානු හමුදාව විසින් එල්ල කළ ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 137 දෙනෙකු පමණ මියගොස් ඇති බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසනවා.
යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙම ප්‍රහාර වලින් මියගොස් ඇති පිරිස අතර සිවිල් වැසියන් ද සිටින බවයි.
රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්‍රේන හමුදා භටයින් 316ක් තුවාල ලබා ඇති බව ජනපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර රුසියානු හමුදාවේ ඉලක්කය තමන් හා තම පවුලේ සාමාජිකයින් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
තමන් මේ වන විටත් රැඳී සිටින්නේ කියෙව් අගනුවර “රජයේ නිල නිවාසයේ” බවත් තම පවුලේ සාමාජිකයින් ද යුක්‍රේනයේ සිටින බවත් ජනාධිපතිවරයා පවසනවා.
මේ අතර ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ උතුරු යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා.
පැරණි සෝවියට් සමූහාණ්ඩුවට අයත්ව තිබූ මෙම න්‍යෂ්ටික බලාගාරය මහා විනාශයක් සිදු කරමින් පිපිරීමට ලක්වූයේ 1986 වසරේදියි.
රුසියානු හමුදා විසින් තම රට ආක්‍රමණය කළ හොත් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය රුසියානු හමුදාව ඔවුන් සතුකර ගැනීමට උත්සාහ කරන බවට පසුගිය බ්‍රහස්පතින්දා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු ඇඟවනු ලැබුවා.
රුසියාව තවදුරටත් යුද්ධය තීවෘ කළහොත් 1986 වසරේදී සිදුවූ චර්නොබිල් ඛේදවාචකය 2022 වසරේදීත් යළිත් වරක් සිදුවිය හැකි බවයි විදෙස් විචාරකයින් මත පල කරන්නේ.