හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම උදෙසා මැදිහත් වීමක් ඉල්ලමින් තමා ජාත්‍යන්තරය ඉදිරියට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ, වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් බැලීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.
මේ සදඟා සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමක් දැනටමත් කටයුතු කරමින් සිටින බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,
“රන්ජන් රාමනායක ජනතාවාදී මානව හිතවාදියාගේ නිදහස වෙනුවෙන් අදටත් අපි ප්‍රජාතන්ත්‍රවාදී සටන සහ අරගලයේ සිටිනවා. විශේෂයෙන්ම එතුමා සිරගත වී සිටීම අපටත් රටටත් දැනට පාඩුවක් හැටියටයි මම දකින්නේ. අද වගේ දවසක රන්ජන් රාමනායක මැතිතුමා නිදහස්ව සිටියානම් මේ රටේ දුක්විඳින ජනතාවගේ දුකට පිහිට වන්නට එතුමා ඉමහත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. රංජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා පුන පුනාම ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කළා. නමුත් තවමත් එතුමාට ඒ නිදහස ලැබිලා නෑ. අපි කාරුණිකව මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මැතිතුමාට පූර්ණ නිදහස ලබා දෙන්න කියලා නැවතත් ඉල්ලනවා.”