“දියණි” යන වැඩසටහන යටතේ පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
ඒ, ඊයේ (01) දින පාර්ලිමේන්තුවේදී 2022 අය-වැය අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට සහභාගී වෙමින්.
විවිධ මන්ත්‍රීවරුන් තමන්ගේ දිස්ත්‍රික්ක පිළිබඳව පාර්ලිමේන්තුවේදි විවාද කරන නමුත් එම දිස්ත්‍රික්ක වල දරුවන් පාසල් නොපැමිණීමට මූලික හේතූන් දෙකක් වන උදෑසන ආහාරය නොමැතිකම සහ, සනීපාරක්ෂක තුවා සම්බන්ධ ගැටළුව පිළිබඳව ඔවුන් අවධානය යොමු නොකරන බවයි පියල් නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය ප්‍රතිපාදන වලින් තොරව පුද්ගලික ආයතන හා සම්බන්ධ වී ඊට පිළියම් ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසනවා.
කෙසේ නමුත් මෙවැනි කර්තව්‍යයන්හිදි විපක්ෂයෙන් නිසි සහයක් නොලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
“මේ වගේ අවස්ථාවක පටු දේශපාලන වාසි වෙනුවෙන් වචන හරඹයන් කරන්නේ නැතුව අපිත් එක්ක එකතු වෙන්න. අපි හැමෝටම වගකීමක් තියනවා දේශපාලන පාට පක්ෂ භේදයකින් තොරව දරුවන් කාන්තාවන් සහ අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙන්න.”