වසර 07කට පසුව ලංකා සතොස පළමු වතාවට ලාභ ලැබූ බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ඊයේ (10) රත්නපුර නගරයේ ලංකා සතොස නව අළෙවි ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
යහපාලන ආණ්ඩුකරණයේ දූෂිත ක්‍රියා පිළිවෙලෙහි ගොදුරු බවට පත් වූ ලංකා සතොස ආයතනය, රුපියල් බිලියන 20ක අලාභයක් සමඟ වර්තමාන රජයට උරුම වූ බවත්, ඒ අනුව වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් තමා පත් වීමත් සමඟ විවිධ ව්‍යාපෘති දියත් කරමින් පාරිභෝගිකයාට සහන සලසන අතරතුරම, ලංකා සතොස ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කරගැනීමේ ක්‍රමවේදයන් දියත් කළ බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී සදහන් කළා.
සෑම මසකම රුපියල් මිලියන 100කට වඩා වැඩි අලාභයක් වාර්තා කරමින් පැවති ලංකා සතොස ආයතනයේ, 2021 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස 09ක කාලයක් තුළ සමස්ත අළෙවිය රුපියල් කෝටි 3000ක් වූ අතර, 2019 වර්ෂයේ ජනවාරි මස සිට සැප්තැම්බර් මාසය දක්වා වාර්තා කළ අළෙවිය රුපියල් කෝටි 1990 ක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
ඒ අනුව, ලංකා සතොස ආයතනය විසින්, 2019 මුල් මාස 09 තුළ ලද සමස්ත අළෙවියට සාපේක්ෂව 2021 මුල් මාස 09 දී 50%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
එමෙන්ම, පළමු වතාවට ලංකා සතොස ඉතිහාසයේ මසකදී වාර්තා කළ වැඩිම අළෙවිය පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා කළ බවත්, රුපියල් කෝටි 400ක් වන මෙම අළෙවිය, එතෙක් මෙතෙක් සිදු වූ වැඩිම අළෙවිය වාර්තා කළ අවස්ථාව වන බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, වසර 07කින් පසුව පළමු වතාවට සැප්තැම්බර් මාසය තුළදී පමණක් වාර්තාගත ලෙස රු.ලක්ෂ 121ක මෙහෙයුම් ලාභයක් ලබා ගැනීමටද ලංකා සතොස සමත් වූ බවද මාධ්‍ය වෙත පවසා සිටියා.
කෙසේ වෙතත් මේ වන විට සතොස ආයතනයට දළ වශයෙන් රුපියල් මිලියන 110 ක අලාභයක් සිදුකෙරමින් සිදුවූ සුදු ලූණු වංචාවක් පිළිබදව පරීක්ෂණයක්ද ක්‍රියාත්මක වනවා.