Update : කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව බීමතින් රාජකාරී කරමින් සිටියදී පොලිස් කැබ් රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයා පෙබරවාරි 10වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
ඒ ඔහු අද (27) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඔහුගේ වැඩ තහනම් කිරීමටද මේ වන විට කටයුතු කර ඇති බවයි සඳහන් වෙන්නේ.
—————————————————————————————————–
පොලිස් කැබ් රථයකින් ත්‍රී රෝද රථයක් අනතුරට පත්කර පලා යමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු වරකාපොළ තෝලංගමුව ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රීයේදී අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කෑගල්ල පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කරමින් සිටි කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙක්.
පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම උප පොලිස් පරීක්ෂකවරයා රාජකාරී කටයුත්තක් සඳහා කෑගල්ල පොලිසියේ සිට අඹේපුස්සට දක්වා කෑගල්ල පොලිසියට අයත් කැබ් රථයකින් පැමිණෙමින් සිටියදී මෙම කැබ් රථය ඉදිරියෙන් ආ ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුර සිදුවීමෙන් පසුව වරකාපොල පොලිස් නිලධාරීන් සිද්ධියට සම්බන්ධ උපපොලිස් පරීක්ෂකවරයා සහ කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබුණා.
පසුව අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත වරකාපොළ මූලික රෝහලේ වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටින බවට තහවුරු වී ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම සිවිල් පුරවැසියෙකුට නීතිය ක්‍රියාත්මක වන ආකාරයටම ඔහුට විරුද්ධව කටයුතු කරන බවයි පොලීසිය පවසන්නේ.
කෙසේවෙතත් රියදුරුගේ බීමත්කම සම්බන්ධයෙන් වරකාපොළ පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර, රිය අනතුර සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනු ලබනවා.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා වරකාපොළ පොලීසිය විසින් කෑගල්ල පොලීසිය වෙත භාරදී තිබෙනවා.