බණ්ඩාරවෙලදී ලංගම බස් රථයකට පහර දී අලාභ හානී සිදු කිරීම සම්බන්ධයෙන් යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පනාගොඩ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිටින 35 හැවිරිදි සෙබළෙක්.
කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන බණ්ඩාරවෙල ඩිපෝවට අයත් ඉහත ලංගම බස් රථය කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වී, රාජකාරිය නිමාකර රියදුරු සහ සහයක බස් රථය බණ්ඩාරවෙල ඩිපෝව වෙත රැගෙන යමින් සිටියදී, මෝටර් රථයකින් පිරිසක් සමඟ පැමිණි සෙබලා බසයට ගොඩවී ඇතැයි පොලිසිය සඳහන් කරනවා.
බස් රථයට ගොඩ වූ සැකකාර සෙබලා තමා කොළඹට රැගෙන යන ලෙසට රියදුරුට සහ කොන්දොස්තරට දැනුම් දී ඇති අතර, බස් රථයේ කොළඹ සිට පැමිණි බවත්, යළිත් කොළඹට පිටත් වන්නේ පසු දින බවත් රියදුරු සහ කොන්දොස්තර සැකකරුට දැනුම් දී තිබෙනවා.
එහිදී සැකකරු කොන්දොස්තර සහ රියදුරු සමඟ ආරවුල් ඇතිකර ගනිමින් කලහාකාරී ලෙස හැසිරී බස් රථයට පහර දී අලාභ හානි සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරනවා.