මෙවර ශ්‍රී පාද වන්දනා සමය අදින් (14) ඇරඹෙනවා.
ඒ සඳහා, වන්දනාකරුවන් සඳහා අවශ්‍ය ආරක්ෂාව, විදුලිය, සනීපාරක්ෂාව, මාර්ග, දුම්රිය, මගී ප්‍රවාහන සේවාවන්, ආහාර සුරක්ෂිතතාවය, ඇතුළු මූලික පහසුකම් බාධාවකින් තොරව සැපයීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.
මේ අතර, වන්දනා සමයේ දී නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණෙන දෙස් විදෙස් වන්දනාකරුවන්ට අවශ්‍ය පොදු පහසුකම් සැපයීමේදී ඇතිවන ගැටළු සඳහා විධිමත් අයුරින් විසඳුම් ලබාදීමේ අරමුණෙන් විශේෂ රැස්වීමක් පවත්වා තිබුණා.
ඒ නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුලගේ ප්‍රධානත්වයෙන්.
ඒ සඳහා නල්ලතන්නිය ග්‍රාම නිලධාරි කාර්යාල පරිශ්‍රයේදී නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසකගේ සහභාගී වී තිබුණා.
මේ වන විට නල්ලතන්නිය – ශ්‍රීපාද මාර්ගයේ තාවකාලික වෙළඳසැල් හිමියන් ශ්‍රීපාද කඳු මුඳුනට අලෙවිය සඳහා යම් ප්‍රමාණයක ප්ලාස්ටික් ජල බෝතල් ගෙනගොස් ඇති බව වෙළඳ සංගමයේ නියෝජිතයින් විසින් මෙහිදී අනාවරණය කර තිබුණා.
ඒ අනුව, වෙළඳසැල් වලින් එම ජල බෝතල් අලෙවි කිරීමේදී ප්ලාස්ටික් ජල බෝතලයේ ඇති ජලය වන්දනාකරුවන් විසින් තම නිවෙස්වල සිට රැගෙන එන නැවත පරිසරයට බැහැර නොකරන ජල බෝතල්වලට එම ජලය පුරවා දීමට කටයුතු කරන ලෙස වෙළඳසැල් හිමියන්ට දැනුම්දී තිබෙනවා.
ශ්‍රී පාද වන්දනා සමය ලබන වසරේ මැඳින් පුන් පෝය දිනයෙන් නිමාවට පත්වීමට නියමිතයි.