ගාලුමුවදොර ගෝඨාගෝගම සහ අරලියගහ මැදුර අසල මයිනාගෝගම සාමකාමී අරගලයට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් වන පැමිණිල්ලට අදාල සියලු සාක්කි අද (2) උදෑසන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට දැනුම් දී තිබෙනවා.
පහරදීමේ සිද්ධියේ පැමිණිලිකරු වන තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට සාක්කි ලබා දීම සඳහා අද (2) උදෑසන එම කොමිසමේ සභාපති රෝහිණී මාරසිංහ මහත්මිය හමුවේ පෙනී සිටින ලෙස කොමිසම නොතීසි මගින් දැනුම් දුන්නා.
මෙවැනි සිදුවීමක් ඇතිවිය හැකි බව එම සංගමය ඊට පෙරම මානව හිමිකම් කොමිසමට දැනුම් දී තිබුණු අතර පහරදීම වූ දිනයේ ද ඒ ගැන පොලිසියට සහ කොමිසමට දැනුම් දී ඇති බව එම සංගමය සඳහන් කරනවා.
පහරදීමේ සිද්ධියට අදාල සියලුම සාක්කි කොමිසමට ඉදිරිපත් කරන ලෙස ද එම කොමිසමේ ලේකම්වරයා විසින් නිකුත් කළ සිතාසියේ සඳහන් වනවා.
මෙම සිතාසිය අනුව සියලු සාක්කි සමඟ අද උදෑසන මානව හිමිකම් කොමිසම හමුවේ පෙනී සිටින බව තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ප්‍රකාශ කළා.