24.3 C
Colombo
Tuesday, November 26, 2024

ශ්‍රී ලංකාව සහ චීනයේ දෙබිඩි පිළිවෙත

- Advertisement -

නිදහසින් පසු දරුණුතම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටිනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය අප්‍රේල් මාසයේ සියයට 29.8ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රට තුළ උග්‍ර භාණ්ඩ හිඟයක් නිර්මාණය වී තිබෙනවා. කිරිපිටි, සහල්, පරිප්පු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම ගෑස් සහ ඛනිජ තෙල් හිඟය ඉතා බරපතලයි.
දෛනිකව පැය 3කට වැඩි කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. එමෙන්ම ඖෂධ හිඟය ජනතාවගේ ජීවත් වීමේ අයිතියට අභියෝගක් වී ඇති පසුබිමක දෙමසක් තුල දෙවනවරටත් පසුගිය සිකුරාදා ඖෂධ මිල ඉහළ නංවනු ලැබුවා.

මේ සියල්ලටම හේතු වී තිබෙන්නේ රටේ විදේශ සංචිත පහළ යෑම හේතුවෙන් එම භාණ්ඩ ආනයනයට විදේශ විනිමය නොමැති වීමයි. 2022 මාර්තු මාසය අවසානයේ දී ඩොලර් මිලියන 1,723.60ක විදේශ විනිමය සංචිතයක් ශ්‍රී ලංකාව සතුව පැවතිය ද එයින් භාවිතයට ගත හැකි ප්‍රමාණය වන්නේ චීන විනිමය හුවමාරුවෙන් (ස්වැප් පහසුකම) ලද යුවාන් බිලියන 10ක් හෙවත් ඩොලර් බිලියන 1.5ක ප්‍රමාණය අඩු කළ පසු ලැබෙන අගයයි. එනම් ඩොලර් මිලියන 223 කි. අද වන විට එය ඊටත් වඩා පහළ බැස ඇති බවට සැක නැහැ.
2021 වසරේ සිව්වන කාර්තුව වන විට ශ්‍රී ලංකාවේ මුලු ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,589.37ක් වනවා.
ඉන් විදේශ ණය ප්‍රමාණය රුපියල් බිලියන 6,492.15(ඇමෙරිකානු ඩොලර් බිලියන 51)ක්.
2021 දී රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ශීඝ්‍රයෙන් වැඩිවී තිබෙනවා.
පවතින ආර්ථික අභියෝග ජය ගැනීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය දීමට සූදානම් බව ජ්‍යාත්‍යන්තර මුල්‍ය අරමුදල හෙවත් IMF ආයතනය පවසනවා.

නමුත් ඒ සඳහා දැනට තිරසර නොවන මට්ටමක පවතින ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය තිරසර මට්ටමකට ගෙන ඒම අනිවාර්යය කොන්දේසියක්.
නමුත් කළණ මිතුරෙකු බවත් ශ්‍රී ලංකාවට සහය දක්වන බවත් පුන පුනා කියන චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දක්වන්නේ විශාල මැලිකමක්.
ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ සාකච්ඡා වර්ධනය වෙමින් තිබූ මුල් කාලයේදී මෙරට සිව්වැනි විශාලතම ණයහිමියා වන චීනයෙන් ලබා ගත් සමස්ත ණය කළඹෙන් සියයට 10ක කොටස සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ චිනයෙන් සහනයක් ඉල්ලා සිටියේ පසුගිය ජනවාරි මාසයේදී. ඒ චීන විදේශ අමාත්‍ය වැන් යී සමග කොළඹදී පැවැති හමුවෙදීයි.

අදාල ඉල්ලීම සිදුකර මාස 4ක් ගත වී ඇතැත් චීනය තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
චීන කොමුනිස්ට් පක්ෂය විසින් මෙහෙයවන Global Times වෙත ප්‍රකාශයක් ලබාදෙමින් Chinese Academy of International Trade and Economic Cooperation ආයතනයේ ආර්ථික පර්යේශක Song Wei මහතා පැවසුවේ චීනය ණය ප්‍රතිව්‍යූහගත කරන්න සූදානම්, නමුත් සනනාධාර ණය (concessional loans) නැත්තං පොළී නැති දීර්ඝ කාලීන ණය හැර වාණිජ ණය (Commercial loans) ප්‍රතිව්‍යූහගත කරන්න නොහැකි බවයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොංග් කොළඹ දී ජනමාධ්‍යවේදීන් පිරිසක් සමග පැවැත්වූ විවෘත සංවාදයකදී පැවසුවේ ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල වෙත යොමු වීම හේතුවෙන් අදාල සාකච්ඡා මන්දගාමී වූ බවයි.
කෙසේ වෙතත් පසුගිය අඟහරුවාදා කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අකමැති චීනය ණය ගෙවීම සඳහා තවත් ණයක් ලබා දීමට කැමත්ත පළ කර ඇති බවයි.

‘අපිට ණය දෙන කඳවුරු කිහිපයක් තිබෙනවා. එකක් තමයි බටහිර. අනෙක් කඳවුර චීනය වගේ රටවල්. බටහිර රටවල් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාධනීය ප්‍රතිචාර දක්වා තිබුණත් චීනය දැනට දක්වන ස්ථාවරය තමයි ඔවුන් ලෝකේ පුරාම විවිධ රටවලට ණය දීලා තිබෙන නිසා එක රටකට පමණක් ණය ප්‍රතිව්‍යුහගත කරන්න ගියොත් ඒක ඔවුන්ගේ රටවලට බලපානවා කියලා. ඒ වෙනුවට ඔවුන් යෝජනා කරලා තියෙනවා දැනට තියෙන ණය ගෙවීම සඳහා තවත් ණයක් දෙන්න සූදානම් කියලා. ඉතිං මේක මූලික සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.ʼ
චීනය ශ්‍රී ලංකාවට ලබා දෙන ණය හා ආධාර සම්බන්ධයෙන් ANI ප්‍රවෘත්ති සේවය වෙත අදහස් දක්වමින් භූ දේශපාලනික විශ්ලේෂකයෙක් වන අසංග අබේගුණසේකර පැවසුවේ ශ්‍රී ලංකාවට ලබා දී ඇති චීන ණය අපැහැදිලි බවයි. අවම තරමින් එහි පොලී අනුපාතය හෝ කිසිවෙක් නොදන්නා බව ඔහු පවසනවා.

“ආර්ථික අර්බුදයට ඇති එකම හේතුව චීනය නොවේ. නමුත් එය සැලකිය යුතු එකක්. තමන්ගේම ණය පියවීම සඳහා චීනය ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක් ලබා දීමට නියමිතයි. තමන්ගේම ණය පියවා ගැනීමට තමන් ණය ලබා දීමක් ගැන මම ඇසුවේ පළමුවරටයි. ” අසංග අබේගුණසේකර පවසනවා.

මීට අමතරව චීනය විසින් විටින් විට ශ්‍රී ලංකාව සමග එළඹ ඇති අවබෝධතා ගිවිසුම් මගින් දෙරටටම ප්‍රතිලාභ හිමිවන බව පැවසුනද සැබැවින්ම ගතවූ කාළසීමාව තුල එය සිදුවී ඇත්ද යන්න විශාල ගැටළුවක්.
මක්නිසාදයත් අතීත ගිවිසුම් හා දෙරටේ ගනුදෙනු පිළිබද සමාලෝචනය කිරීමේදී පෙනීයන වැදගත්ම කරුණක් වන්නේ මෙවැනි ගිවිසුම් හා එකගතාවයන් මගින් චීනය , ශ්‍රී ලංකාවේ සාරය විටෙන් වුට විට පසුගිය 65 වසර පුරාම උරාබී ඇති බවයි.

2015-2020 දක්වා වසර පහ තුළ, චීනය සමඟ ශ්‍රී ලංකාවේ වෙළඳාම ක්‍රමානුකූලව පහත වැටී තිබීම මීට මනා ලෙස නිදසුන් සපයනවා.
ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා මහ බැංකුව සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙන පරිදි, 2018 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 230.59 වූ මෙරට චීන අපනයන වටිනාකම 2019 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 229.06 දක්වාත් 2020 දී ඇමෙරිකානු ඩොලර් මිලියන 223 දක්වාත් ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනින් පහත වැටී ඇති බවයි.

2020 දී ශ්‍රී ලංකාවේ සමස්ත වෙළඳාමෙන්, අමෙරිකා එක්සත් ජනපදය 24.9% ක්, එක්සත් රාජධානිය 9.06% ක් සහ ජර්මනිය 5.68% වැනි ඉහළ පංගුවකට හිමිකම් කීවත්, හිත මිතුරු වෙසින් පැමිණි චීනයේ පංගුව දැක්වෙන්නේ 2.22% ක් තරම් වූ පහළ අගයකයි.
වාර්තා පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ අසමතුලිතතාවය 2020 දී චීනය සමඟ වන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන සෘණ 3.35 ක් ලෙස දැක්වෙනවා.
චීනය ශ්‍රී ලංකාවෙන් මිලදී ගන්නා ඩොලර් මිලියන 223 ක භාණ්ඩ හා සසඳන විට චීනයෙන් අප රට සිදුකරන ආනයන ඩොලර් බිලියන 3.57 දක්වා ඉහළ ගොස් තිබීම සැළකිය යුතු තත්ත්වයක්.
ඒ අනුව පෙනීයන්නේ සිය ලාභය හා වාසිය පමණක් අරමුණු කර ගනිමින් චීනය, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කර ඇති බවයි.

මේ දිනවල සාකච්ඡා මේසය මත තිබෙන චීන ශ්‍රි ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමත් මේ හා සමාන උගුලක් නොවනු ඇතැයි කාට නම් කිව හැකි වෙයිද?
ණය සහනය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබීම අනිවර්ය කරමින් ශ්‍රී ලංකාව බිත්තියට හේත්තු කරන තැනට චීනය යොමුවනු ඇතැයි විචාරකයින් මත පල කරනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ මිනිස් ජාවාරමට ගොදුරු වූ ශ්‍රී ලාංකිකයින් බේරා ගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි ශ්‍රී ලාංකිකයින් 32ක් බේරාගෙන තිබෙනවා. ඔවුන් ඉක්මණින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සංක්‍රමණ සඳහා...

නායයෑමේ අවධානම ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කෙරේ

දිවයිනට බලපා ඇති වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 06 කට නිකුත් කළ නායයෑමේ අවධානම් නිවේදනය තවත් පැය 24 ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල,...

දේශීය ඇඟලුම්වලින් උපයන අපනයන ආදායමේ ඉහළ යෑමක්

මෙම වසරේ දේශීය ඇඟලුම් කර්මාන්තයෙන් උපයා ඇති අපනයන ආදායම ඩොලර් බිලියන 4.5 ඉක්මවා යනු ඇති බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පවසනවා. එම සංසදය සඳහන් කරන්නේ...

POPULAR ARTICLES