අප්‍රිකාවේ ගැම්බියා රාජ්‍යයේ ළමුන් පිරිසක් මියගියේ යැයි කියන සිද්ධියට අදාළ ඉන්දියානු ඖෂධ සමාගමේ එම ඖෂධ නිෂ්පාදන මෙරටට ගෙන්වා නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.
ඒ, අද (06) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.
රටට ඖෂධ ගෙන්වීමේදී ඒ සඳහා වන නිසි නියාමන ආයතන පවතින අතර ඒ අනුව අදාළ ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ වර්ග 4ක් නිසා ගැම්බියාව තුළ ළමා මරණ රැසක් සිදුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණ කළේය.
ඒ අනුව ඉන්දියාවේ මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවන ඖෂධ 4 කට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පියවර ගත්තේය.
පසුගිය ජූලි මාසයේ සිට වකුගඩු ආබාධ හේතුවෙන් ගැම්බියාවේ ළමා මරණ 66ක් සිදුවීම සහ එම ඉන්දීය සමාගම නිපදවූ, කැස්සට සහ සෙම්ප්‍රතිශ්‍යවට ලබාදෙන දියර ඖෂධ සහ එම මරණ අතර සබඳතාවක් ඇතැයි නිරීක්ෂණය වීම ඊට හේතුවයි. මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවූ එම ඖෂධවල ‘අනුමත ප්‍රමාණය ඉක්මවා’ ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් නම් සංයෝග අන්තර්ගත වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වාර්තාවෙන් පසුගියදා තහවුරු විය.
එම වාර්තාවෙන් අවධාරණය කර තිබුණේ අධි මාත්‍රික එම සංයෝග මගින් මිනිස් වකුගඩුවලට හානි සිදුවන බවයි. මේ නිසා අවදානම් බවට හඳුනාගත් ඖෂධ නිෂ්පාදන හතරම වහාම ගැම්බියාවේ වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබුණි. නමුත් දැනට ගැම්බියාවේ පමණක් නීත්‍යනුකූලව අලෙවි කර ඇති එම ඖෂධ අවිධිමත් වෙළෙඳපොළ හරහා වෙනත් රටවල බෙදා හැර තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පවසන්නේ මතභේදයට තුඩු දී ඇති ඖෂධ නිපදවා ඇත්තේ, ගැම්බියාව සඳහා පමණක් බවයි.
මතුව ඇති තත්ත්වය යටතේ මෙම මතභේදාත්මක ඖෂධවල අවදානම ශ්‍රී ලංකාවට එල්ල විය හැකිද යන්න සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළේය.
“අපි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් ක්ෂණිකව සිදුකළා. ලංකාවේ එවැනි බෙහෙතක් ගෙනත් නෑ කියන පිළිතුර එහිදි අපිට ලැබුණා. එහෙම ගේන්න බලාපොරොත්තුවකුත් නැහැ.” යැයි ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.