2020 වසරේ මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි තිබියදී නීතිපතිවරයා නඩුගොනුව වසා දැමීම පුදුමසහගත කරුණක් බව වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා ප්‍රකාශ කර තිබෙනවා.
ඉකුත් සැප්තැම්බර් 26 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති උපදෙස් සහිත ලිපියක් ඉදිරිපත් කරමින් අදාළ නඩුගොනුව වසා දමන ලෙස වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළා
කෙසේවෙතත්, අදාළ නඩුගොනුව එකවර වසා දැමීම ප්‍රතික්ෂේප කළ වැලිසර මහෙස්ත්‍රාත්වරයා නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති පියවර අගතියට පත් පාර්ශ්වයට දැනුම්දීමට ඊයේ (22) මෙම නඩුව යළි කැඳවා තිබුණා.
එම අවස්ථාවේදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥයින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ, ජනතාව පිළිගත යුත්තේ අධිකරණ නියෝගද ? නැතිනම් නීතිපති මතයද යන්න මෙම සිදුවීමේදී ප්‍රශ්නගත වී ඇති බවයි.
අදාල රැඳවියන් සම්බන්ධයෙන් සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී එම මරණ 11ම සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට සිදුව ඇති වෙඩිවැදීම් බවට අනාවරණය වූ බවත් එය කිසිසේත්ම කලහකාරී තත්ත්වයක් පාලනයට අවම බලය භාවිත කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අධිකරණයේදී මහේස්ත්‍රාත්වරයා සිදු කළ ප්‍රකාශය පහතින්,
“මට මතකයි මේ නඩුවේ මුල් අවස්ථාවේදිම පැමිණිල්ල මේ කොරෝනා ආසාදිත පුද්ගලයින් කියා මෘත ශරීර පුළුස්සා විනාශ කරන්න හැදුවා. අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින් නිසයි එය වැළකුණේ. පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වුණා මෙම මරණ 11ම සිදුව ඇත්තේ උදරයෙන් ඉහළට සිදුව ඇති වෙඩිවැදීම් නිසා කියලා. එය කලහකාරී තත්ත්වයක් පාලනයට අවම බලය භාවිත කිරීමක් ලෙස කිසිසේත්ම සලකන්න බැහැ. ඒ නිසයි අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්න කියලා මා නියෝග කළේ. නමුත් නීතිපතිවරයා යොමුකළ උපදෙස් ලිපියේ කියන්නේ බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්යය බළකාය නිත්‍යානුකූලව කටයුතු කළා කියලා. එය පුදුම සහගතයි. මෙතනදී පැහැදිලිව මගේ නියෝගයයි, නීතිපතිගේ මතයයි අතර ගැටීමක් සිදුවෙනවා. මෙය කිසිසේත්ම නඩු නිමිත්තක් නැහැ කියන්න පුළුවන් සිදුවීමක් නොවෙයි. මෙම අවස්ථාවේත් අධිකරණයේ මතය මේ සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ එන ” මිනිමැරුම” හෝ 298 වගන්තියේ එන ” නොසැලිකිලිමත්කමින් මරණය සිදුකිරීම” යන වරද යටතේ චෝදනා ගොනුකළ හැකියි යන්න. නමුත් මෙම අධිකරණයට නීතිපතිගේ බලය අතික්‍රමණය කිරීමේ බලයක් නැහැ. ඔබට කළ හැකි එකම විකල්පය අභියාචනාධිකරණයට ඉල්ලීමක් කරන්න”
එමෙන්ම මෙම ප්‍රකාශයෙන් අනතුරුව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සේනක පෙරේරා මහතාද පවසා සිටියේ නීතිපතිවරයාගේ නියෝගය අතිශයින්ම ප්‍රශ්න සහගත වන අතර එමඟින් වින්ධිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදු වන බවයි.
“ස්වාමිනි, නීතිපතිවරයාගේ ක්‍රියාකලාපය අතීශයින්ම ප්‍රශ්න සහගතයි. ස්වාමිණී බන්ධනාගාර ආඥා පනතේ 77 වගන්තිය යටතේ බන්ධනාගාර නිලධාරීන්ට ගිනිඅවි භාවිත කරන්න පුළුවන් සිරකරුවන් පැනයාමට උත්සාහ කළ අවස්ථාවකදී පමණයි. එහෙත් මෙම සිරකරුවන් PCR ඉල්ලා උද්ඝෝෂණ කළා මිස පැනයාමට උත්සාහ කළ බවට කිසිදු සාක්ෂියක් නැහැ. අනික එම පනතට අනුව සිදුවිමක් පාලනය කරන්න වෙඩි තැබුවත්, මරණයක් සිදුකරන්න බැහැ. අනික ගිනිඅවි ක්‍රියාත්මක කරන්න කළින් නීතියට අනුව අහසට වෙඩි තියා සංඥාවක් කළ යුතුයි. මෙහිදී එවැන්නක් සිදුවූ බවටද සාක්ෂි නැහැ. එහෙම තත්ත්වයක කොහොමද ස්වාමිනි මේ නිලධාරින්ගේ ක්‍රියාකලාපය රාජකාරී සීමාවේ සිදුකළ ක්‍රියාවක් වෙන්නේ. මේක නරක පූර්වාදර්ශයක්. ජනතාව පිළිගන්න ඕනේ අධිකරණ නියෝගය ද? නැතිනම් CIDයේ හෝ නීතිපතිගේ මතයද? මෙහිදී නීතිපතිගේ නියෝගයෙන් වින්ධිත පාර්ශ්වයට බරපතළ අගතියක් සිදුවෙනවා. යුක්තිය සහ නීතිය අපගමනය කරන්න නීතිපතිට බැහැ.”
ඒ අනුව, අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා විසින් නඩුව දෙසැම්බර් මස 13 වනදා කැඳවීමට ඊයේ දින නියම කළා.
2020 වසරේ නොවැම්බර් 30 වෙනි දින මහර බන්ධනාගාරයේ හටගත් ගැටුම්කාරී තත්ත්වය හමුවේ සිරකරුවන් 11 දෙනෙකු මිය ගොස් සියයකට වැඩි පිරිසකට තුවාල ලැබුවා.
මානව හිමිකම් කොමිෂන් සභාව 2020 වසරේ දෙසැම්බර් මසයේ දි පවසා තිබුණේ කොරෝනා වෛරසය ආසාදිත රැඳවියන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරයට මාරුකිරීම මහර බන්ධනාගාරයේ ගැටුමට හේතු වූ බවයි.