කොළඹ වෝඩ් පෙදෙසේ දී ත්‍රිරෝද රථ රියදුරෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ත්‍රිරෝද රථ රියදුරුගේ ජංගම දුරකථනය කොල්ලකෑම සඳහා මෙම ඝාතනය සිදුකළ බවයි.
කොළඹ, වෝඩ් පෙදෙසේ පිහිටි ජාතික දන්ත රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් පසුගිය 23වනදා පොලීසිය විසින් සොයා ගත්තා
එහිදී සිදුකළ විමර්ශනවලදී අනාවරණ වුණේ තියුණු ආයුධයකින් පහරදී අදාළ ඝාතනය සිදුකර ඇති බවයි.
අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබුණි.
සීසීටීවී දර්ශන ඔස්සේ දීර්ඝ විමර්ශනයක් සිදුකළ විමර්ශන නිලධාරීන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ත්‍රිරෝද රථයකින් ගමන්කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 45 හා 38 යන වයස්වල පසුවන ගෝනවිල හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන්.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දැඩි ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින අතර, ඊට මුදල් සොයාගැනීම සඳහා පුරුද්දක් ලෙස කොල්ලකෑම්වල නිරත වන බවයි.
සැකකරුවන්ගේ පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් දෙදෙනාට අමතරව තවත් අයෙක් සමගින් සපුගස්කන්ද ප්‍රදේශයෙන් කොල්ලකන ලද ත්‍රිරෝද රථයකින් පසුගිය 23වනදා අළුයම වෝඩ් පෙදෙස දෙසට පැමිණ තිබෙනවා.
ඒ, එන අතරතුරදී ත්‍රිරෝද රථයක රියදුරෙක් දුරකථන ඇමතුමක සිටින අයුරු දැක ඇති සැකකරුවන් ඔහුගේ ජංගම දුරකථනය උදුරාගැනීමට උත්සහ කර තිබුණා.
එහිදී ඇතිවූ පොරබැදීම අතරතුරදී එක් අයෙක් තියුණු ආයුධයකින් අදාළ රියදුරුගේ පපු ප්‍රදේශයට ඇන ඇති බව පොලීසිය සඳහන් කළා.
එලෙස කොල්ලකන ලද ජංගම දුරකථනය රුපියල් 4,000ක මුදලකට උකස් තබා එම මුදලින් අයිස් මත්ද්‍රව්‍ය මිලදීගත් බවට සැකකරුවන් පැවසූ බවද පොලීසිය පවසා සිටියා.
සැකකරුවන් දෙදෙනා අධික ලෙස මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් වන අතර ඝාතනය සිදුකිරීමට භාවිත කරන ලද තියුණු ආයුධය සහ ඔවුන් පැමිණි ත්‍රිරෝද රථය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඝාතනයට අදාළව තවත් සැකකරුවක් අත්අඩංගුවට ගැනීමට නියමිතයි.