කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමැතිවරුන්ගෙන් ඇතැමෙක් තමන්ට එරෙහි නඩු ඉවත් කරගැනීම සඳහා තමන් විසින්ම අත උස්සා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුමත කර ඇති බවත්, මේ කොමිසමේ නිර්දේශ මගින් සමස්ත අධිකරණ ක්‍රියාවලිය අභියෝගයට ලක්කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.
බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ පළිගැනීම් කොමිසම යනු හොරුන්ට සහ දූෂිතයන්ට වංචා-දූෂණ සහ අපරාධ සිදුකිරීමට ලබාදුන් බලපත්‍රයක් බවයි. 2015 ජනවාරි 08 වැනි දින සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළබඳ විමර්ශනය කර නිර්දේශ නිකුත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත්කෙරිණි. මේ කොමිසමේ නිර්දේශ ඇතුළත් වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් පසු එය පසුගිය සතියේ අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරිණි. කැබිනට් මණ්ඩලය එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙන ලදි. මීට අදාළ කැබිනට් මණ්ඩල පත්‍රිකාව ඇමුණුම් 03ක් ලෙස තිබේ.
නඩු 79ක් ඉවතට?
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙසේ ද පැවසීය.
‘පළමු ඇමුණුම දූෂණ විරෝධී කමිටුව සහ ලේකම් කාර්යාලය සිදුකළ පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන්. මෙයට අදාළව චූදිතයන් 22ක් නම්කර තිබෙනවා. ඇමුණුම් 02 සහ ඇමුණුම් 03 තුළ විශාල නඩු ප්‍රමාණයක් ඉවත් කිරීමේ නිර්දේශ ඇතුළත්. දෙවැනි ඇමුණුමෙන් මහාධිකරණයේ විභාගයට ලක්වන නඩු 61ක් ඉවත් කරගන්න නිර්දේශ කර තිබෙනවා. තුන්වන ඇමුණුමෙන් නඩු 18ක් ඉවත් කරගන්න නිර්දේශ කරනවා. නඩු 79ක් ඉවත් කරගන්න කොමිසම නිර්දේශ කරන අතර, මේ නඩුවලින් චූදිතයන් කර ඇති අයට සහන සැලසීමත් ඔවුන්ට නඩු පැවරූ අයට දඬුවම්දීමත් නිර්දේශ කර තිබෙනවා. ගැටළුව තිබෙන්නේ මෙතැනයි.
හැම ආණ්ඩුවක්ම විශාල වශයෙන් වංචා දූෂණ සිදුකළා. ඊට විරුද්ධව විශාල ජන මතයක් තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ දූෂණ විරෝධී හඬ පිහිටුවාගෙන මහජන මුදල් වංචා කළ අයට එරෙහිව විශාල පැමිණිලි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබෙනවා. මහාධිකරණයේ නඩු විභාග කරමින් තිබියදී ජනාධිපතිවරයා කොමිෂන් සභාවක් පත්කර දේශපාලන පළිගැනීම් නිවැරදි කරන නාමයෙන් අධිකරණයේ නඩු ඉවත් කරගන්න කරන උත්සාහයක් මේක. රාජපක්ෂ පවුලේ අයට සහ සමීපතමයන්ට තිබෙන නඩුවලින් ඔවුන් නිදහස් කර ගැනීමට මේ කොමිසම පත්කළ බව අපි ඒ කාලයේම ජනතාවට කිව්වා. ඇමුණුම් දෙකක තිබෙන නඩු 79ක් ඉවත් කරගෙන නඩු පවරපු අයට දඬුවම් කරන්න සූදානම් වෙන්නේ මේ නිර්දේශ අනුවයි. මෙය ඉතා බරපතළ තත්ත්වයක්. ඇමති මණ්ඩලයෙන් මෙම කැබිනට් පත්‍රිකාව සම්මත කරගන්නකොට මහාධිකරණයෙන් නඩුවක් පැවරී තිබෙන උදය ගම්මන්පිල මහත්තයා ඒ වෙනුවෙන් අත උස්සනවා. එයා නඩුවක් තියෙන කෙනෙක්. තමන්ගේ නඩුව ඉවත් කරගන්න තමන්ම අත උස්සනවා.’
කොමිසමේ අරමුණු උල්ලංඝනය කරයි
මේ කොමිසම පිහිටුවීමේ අරමුණු ලෙස සඳහන් වන්නේ රාජ්‍ය නිලධාරීන්ට අදාළ වන දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම ය. එහෙත් මෙහිදී අධිකරණවල විභාග වන අපරාධ නඩු සම්බන්ධයෙන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් නොවන පුද්ගලයන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ද විමර්ශනය කර තිබිණි. ඒ සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය හමුවේදී ලේකම්වරයා මෙසේ අදහස් පළකළේය.
‘දේශපාලන පළිගැනීම් කියලා නම් කළත් මේ තියෙන්නේ එහෙම නඩු නෙමෙයි. පවතින ආණ්ඩුවක් දේශපාලන හේතු මත රාජ්‍ය නිලධාරීන් මාරුකිරීම, උසස්වීම් අත්හිටුවීම, වැඩතහනම් කිරීම වගේ තීන්දු තමයි දේශපාලන පළිගැනීම් ලෙස ගැනෙන්නේ. නමුත් මේ නඩු රහස් පොලීසිය, පොලීසිය නැත්නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වගේ පිළිගත් ආයතන පරීක්ෂණ පවත්වලා නීතිපතිවරයාගේ නිර්දේශ මත නැත්නම් අල්ලස් කොමිසම විසින්ම මහාධිකරණවල පැවරූ නඩු. මේ පවරපු නඩු මහාධිකරණයෙන් භාරගෙන තිබෙනවා. නඩු නිමිත්තක් නැත්නම් මහාධිකරණය නඩු භාරගන්නේ නැහැ. භාරගත් නඩුව අවුරුදු කිහිපයක් විභාගවෙමින් තිබෙනවා. ඒවා ඉවත් කරගන්න කියලා කොමිසමකින් නිර්දේශයක් දෙනවා. රටේ පිළිගත් ආයතන විසින් පවරපු නඩු විභාගවීම, අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ කිසිවක් මේ ආණ්ඩුවට අදාළ නැහැ.’
අධිකරණයට බලපෑමක්
අධිකරණ ක්‍රියාවලියට මේ කොමිසමේ නිර්දේශ මගින් කර ඇති බලපෑම සම්බන්ධයෙන් සමාජයේ සංවාදයක් ඇති වී තිබේ. පහළ අධිකරණයක යම් තීන්දුවකින් යම් පුද්ගලයෙකුට අසාධාරණයක් වුවහොත් ඊට එරෙහිව අභියාචනා අවස්ථා දෙකක් තිබේ. ඒ අභියාචනාධිකරණයට සහ ශ්‍රේෂ්ඨාධිකරණයට යෑම ය. මේ පිළිබඳව ද ලේකම්වරයා අදහස් දැක්වීය.
‘මහේස්ත්‍රාත් අධිකරණය, මහාධිකරණය, අභියාචනාධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය කියන ආයතනික පිළිවෙළක් තිබෙනවා. යම් අධිකරණයකදී දෙන තීන්දුවක් සම්බන්ධයෙන් ඊට ඉහළ අධිකරණයකට පැමිණිලි කරන්න පුළුවන්. මේ සියල්ල පැත්තකට දාලා කැකිල්ලේ අධිකරණය වගේ කොමිසමකින් ගත් තීන්දුවක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්‍රියාත්මක කරන්න යනවා. මේක ඉතා බරපතළ තත්ත්වයක්. අධිකරණයේ තිබෙන නඩු පවරා තිබෙන්නේ අල්ලස් කොමිසම නැත්නම් නීතිපතිවරයා. කොමිසමේ වාර්තාව අනුව මේ නඩු ඉවත් කරගන්න නම් නීතිපති උසාවි යන්න ඕනෑ. නීතිපති නඩු දාලා ඒ නීතිපතිම ගිහිල්ලා නඩු අයින් කර ගන්නවා. අල්ලස් කොමිසමත් එහෙමයි. එතකොට එහෙම නීතිපති දෙපාර්තමේන්තුවකින්, අල්ලස් කොමිසමකින් වැඩක් තියෙනවාද? මේ ක්‍රියාවලියට නීතිපති දෙපාර්තමේන්තුව එකඟ නැති බව අපි හොඳටම දන්නවා. මේ කොමිසම හමුවේ සාක්ෂි ගන්න නීතිපති දෙපාර්තමේන්තුවටත් එන්න කිව්වා. නීතිපතිතුමා ඊට විරෝධය පළකළා. මේ කොමිෂන් එක ව්‍යවස්ථාවටත් විරුද්ධ බව ප්‍රකාශ කර නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කළා. අධිකරණයෙනුත් තහංචි දැම්මා.’
දේශපාලන පළිගැනීම් නඩු යනු මොනවාද ?
මේ මාධ්‍ය හමුවේදී අදාළ කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති නඩු කිහිපයක් සම්බන්ධයෙන් ද අදහස් දැක්විණි. ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ පිළිබඳව මෙසේ පැවසීය.
‘දේශපාලන පළිගැනීම්වලට මුවා වෙලා හොරු, මංකොල්ලකාරයෝ, දූෂිතයෝ පමණක් නෙවෙයි මිනීමරුවො පවා බේරාගන්න කරන උත්සාහයක් කොමිෂන් වාර්තාවේ නිර්දේශවලින් පැහැදිලි වෙනවා. රූපවාහිනී සංස්ථාව සම්බන්ධයෙන් කඩුවෙල උසාවියේ පැවති නඩුවට අදාළව බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් චූදිතයන් නිදොස් කොට නිදහස් කිරීමට මෙම කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා. උදය ගම්මන්පිලට නඩු දැම්මේ ඕස්ට්‍රේලියානු ජාතික බ්‍රයන් ෂෙඩික්. පෞද්ගලික මූල්‍ය ගනුදෙනුවක් සම්න්ධයෙන්. නමුත් මේ කොමිසමෙන් උදය ගම්මන්පිල මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ බී 2254/2015 නඩුවෙන් ගොනුකර ඇති සියලු චෝදනාවලින් සහ කොළඹ මහාධිකරණයේ අංක 8394/2016 හා 8395/2016 දරන අධි චෝදනාවලින් ඉල්ලා අස්කර ගැනීම මගින් එහි දැක්වෙන සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිසම තීරණය කරනවා. පුද්ගලික මූල්‍ය ගනුදෙනුවක් ගැන නඩුවක් දේශපාලන පළිගැනීමක් වෙන්නේ කොහොමද? ඉතා නිර්ලජ්ජිත විදිහට ඒ නඩුව ඉල්ලා අස්කර ගන්නත් නිර්දේශ කර නඩුව දාපු අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා.
යෝෂිත රාජපක්ෂ
යෝෂිත රාජපක්ෂට එරෙහිව තිබුණු නඩුවේ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බව තීරණය කරනවා. උසාවියේ තියෙන නඩුවක් සම්බන්ධයෙන් කොමිෂන් සභාව නිර්දේශ දී තිබෙනවා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළ අයට විරුද්ධව කටයුතු කරන්නත් නිර්දේශ කරනවා. නාලක ගොඩහේවාට විරුද්ධව තියෙන නඩුවෙනුත් ඔහු නිදහස් කරන්න නිර්දේශ කරනවා. කවුරුත් දන්නවා, පිල්ලෙයාන් නිදොස් කොට නිදහස් කළ බව. හේතුව වුණේ නීතිපතිවරයා විසින් චෝදනා ඉල්ලා අස්කර ගැනීමයි. ‘ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් මහතාට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති බී 1357/05 දරන බී වාර්තාවේ සියලු චෝදනාවලින් සහ මඩකලපුව මහාධිකරණයේ එච්.සී.ඩී./3057/17 දරන අධි චෝදනාපත්‍ර ඉල්ලා අස්කර ගැනීම, එකී චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.’ එහෙමයි නිර්දේශවල තියෙන්නෙ. මිනීමැරුම් චෝදනා තිබෙන පිල්ලෙයාන්ව නිදොස් කොට නිදහස් කළේ මේ විදිහටයි.
ජාලිය – සේනාධිපති
ජාලිය වික්‍රමසූරිය සම්බන්ධයෙන් තිබෙන නඩුව සම්බන්ධ සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර විදේශ ගමන් තහනම ඉවත් කිරීමට අදාළ අංශ වහාම ක්‍රියාත්මක විය යුතු බව නිර්දේශ කර තියෙනවා. ඔහු උසාවියට ඉදිරිපත් වෙන්නේ නැතිව ඉඳලා පස්සේ කාලෙකදී ඉදිරිපත් වුණා. නැවත රටෙන් පැන්නා. දැන් ලංකාවෙත් නැහැ. පැනලා ගිය කෙනෙකුත් නිදොස් කොට නිදහස් කරනවා. ඔහුට විරුද්ධව නඩු දාපු අයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා නිර්දේශ කරනවා. නිශ්ශංක සේනාධිපති කියන්නේ ඇවන්ගාඩ් සමාගම පවත්වාගෙන යමින් මහජන මුදල් විනාශ කරපු කුප්‍රකට ව්‍යාපාරිකයෙක්. ඔහු රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. ඔහු මේ කොමිසමට අදාළ නැහැ.
ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක්ව සිටි දමයන්ති ජයරත්නත් මේ කුප්‍රකට ව්‍යාපාරිකයත් එක්ක දූෂණයට සම්බන්ධයි. මේ දෙදෙනාටම තියෙන චෝදනා ඉල්ලා අස්කරගන්න නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් ඉවත් කළ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අසල කලහකාරීව හැසිරුණු, දූෂණ චෝදනා තිබෙන මහින්ද කහඳගමගේ පවා නිදහස් කරන්න නිර්දේශ කරනවා. හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම විදේශ ගමනකදී අධික වියදම් තුළින් රජයේ මුදල් අවභාවිතා කළ කියලා චෝදනාව එල්ල වී තිබෙනවා. එම නඩුවත් ඉල්ලා අස්කර ගන්න නිර්දේශ දෙනවා. ද්වේශසහගත උත්සාහයක් නිසා රෝහිත බෝගොල්ලාගමට චෝදනා කළ බව කොමිසම සඳහන් කරනවා.
උදයංග – බැසිල්
අපේ රටේ යුද්ධය තිබුණු වෙලාවේ ජනතාව අසීමිත කැපකිරීම් කළා. නමුත් උදයංග වීරතුංගලා මිග් යානා ගෙන්වීමේදී විශාල මූල්‍ය වංචාවක් කළා. ඔහුත් සියලු චෝදනාවලින් නිදහස් කරන්න නිර්දේශ කරනවා. ‘නීතිපතිවරයා මැදිහත්ව වැඩිදුරටත් ක්‍රියා නොකරන බව අධිකරණයට වාර්තා කරන්න’ කියලා නිර්දේශ කරනවා. පහුගිය කාලය පුරාවට හැංගිල හිටිය උදයංග වීරතුංග කළ වංචා පිළිබඳව නිදහස් කරන්න නිර්දේශ කරනවා. ජනාධිපති කොමිෂන් සභාව මේ වගේ නිර්දේශයක් කරන්නේ කොහොමද? විවිධ චෝදනා ගණනාවක් තිබෙන අය චෝදනාවලින් නිදහස් කර යවන්න නිර්දේශ ඉදිරිපත් කරනවා. දූෂිත නිළධාරියෙක් වූ නීල් බණ්ඩාරට විරුද්ධව තිබෙන චෝදනාවලින් නිදහස් කර දේශීය හෝ විදේශීය ආර්ථික උපදේශකවරයෙකු වශයෙන් තනතුරුවලට පත්කරන්න සුදුසු බවත් කොමිසම නිර්දේශ කරනවා. මේ කොමිෂන් සභාවට මෙවැනි නිර්දේශයක් කරන්න බලය ලැබුණේ කොහොමද? ඒ වගේම මුළු ලෝකයේම ජීවත් වන ශ්‍රී ලාංකිකයන් දන්නා මල්වානේ නිවස පිළිබඳ නඩුවෙනුත් බැසිල් රාජපක්ෂ නිදහස් කරන්න නිර්දේශ කරනවා.’